election-court

නිසි කලට පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය 2023 වසරේ පවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිසමට ඊයේ (22දා) නියෝග කළේය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොදීමෙන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා අත්තනෝමතිකව සහ නීතියට පටහැණිව කටයුතු කර ඇතැයි තීන්දු කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පළාත් පාලන මැතිවරණ පනත අනුව නියමිත දිනට මැතිවරණය නොපැවැත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියේ සඳහන් සමාන ලෙස සැලකීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1)අ වගන්තියේ සඳහන් නිදහස් අදහස් ප්‍රකාශ කිර්මේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටද පිටු 152කින් යුත් තීන්දුවේ වැඩිදුරටත් කර ඇත. පළාත් පාලන මැතිවරණය නිසි වෙලාවට නොපැවැත්වීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට රුපියල් 1,50,000/- බැගින් නඩු ගාස්තු ගෙවීමට රජයට නියම කළේය.




සමගි ජන බලවේගය පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, පැෆරල් සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්මා මහත්මීන්ගේ සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කෙරිිි ණි.මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් එවකට මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර ඇත.


අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද පිටු 152 කින් යුත් තීන්දුවේ පළාත් පාලන ඡන්දය පසුගිය වසරේ මාර්තු 09 වැනිදා පැවැත්වීමට සියලු විධිවිධාන යොදා තිබූ බව සඳහන් කර ඇත.තත්ත්වය එසේ තිබියදී එවකට රටේ පැවති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කෙරුණු බවත්, මැතිවරණය සඳහා සියලු මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබියදී මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ සර්ව ජන අයිතිය උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින් පෙත්සම්කරුවෝ මෙම පෙත්සම් පෙත්සම් ගොනු කළහ.




නිසි වේලාවට මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වී ඇති බැවින් මැතිවරණය වහාම පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉල්ලීම් කර තිබේ. මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් දීර්ඝ ලෙස කරුණු දැක්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියේ සඳහන් සමාන ලෙස සැලකීම උල්ලංඝනය වී ඇත්දැයි සොයා බැලීම සඳහා පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී මැතිවරණ කොමිසම නිසි අයුරෙන් කටයුතු නොකිරීම හේතුවෙන් මැතිවරණ පැවැත්වීම කල් ගොස් ඇති බව නීතිපතිවරයාගේ ස්ථාවරය බවත්, මෙහි සම්පූර්ණ වගකීම මැතිවරණ කොමිසම බාරගත යුතු බව නීතිපතිවරයාගේ ස්ථාවරය වූ බවත් තීන්දුවේ සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම උත්තර බඳිමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන නියමිත වෙලාවට නොලැබුණු බව දැනුම් දෙමින් ඒ බව සනාථ කිරිම  සඳහා අවශ්‍ය ලිපි ලේඛන සහ කරණු ඉදිර්පත් කළ බවත්, ඒ පිළිබඳ අධිකරණයේ දැඩි අවධානයට යොමු කළ බවත් තීන්දුවේ සඳහන් කර ඇත.


ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමේදී භාණ්ඩාගාර ලේකම්වරයා කටයුතු කරනු ලබන්නේ මුදල් අමාත්‍යවරයාගේ නියෝග අනුව හෙයින් භාණ්ඩාගාර ලේකම්වරයාට ස්වාධීනව කටයුතු කළ නොහැකි බව අධිකරණයට පෙනී යන බවත්, ඒ අනුව මේ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාණ්ඩාගාර ලේකම්වරයාට නොමැති බවත් තීරණය කළ අධිකරණය වැඩිදුරටත් කරුණ විමර්ශනයේදී මැතිවරණ වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් කිසිදු කරුණක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඒ පිළිබඳ සාකච්ඡා කර නොමැති බවත් තීරණය කළ අධිකරණය වැඩිදුරටත් කරුණ විමර්ශනයේදී මැතිවරණ වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් කිසිදු කරුණක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඒ පිළිබඳ සාකච්ඡා කර නොමැති බව පෙනෙන්නට ඇති බවත් සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අමාත්‍ය මණ්ඩලය අනුමත කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් මුදල් අමාත්‍යවරයා විසින් ලබාදී නොමැති බවත්, ඉදිරිපත් පත් වූ කරුණු අනුව පෙනී යන බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ තත්වය යටතේ 2023 වසරේ පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය නිසි කලට වේලාවට පැවැත්වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සෘජුවම වගකිව යුතු බව අධිකරණය මතය බවද තීන්දුවේ සඳහන් කළේය.


නිසි කලට වේලාවට පළාත් පාළන මැතිවරණය නොපැවැත්වීම මගින් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතිය උල්ලංඝනය කර ඇති බවත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12 (1)සහ14 (1)අ වගන්තින් උල්ලංඝනය කර ඇති බවත් අධිකරණය තීන්දු කළේය.මුදල් අමාධ්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා අත්තනෝමතික හා නීතියට පටහැණි ලෙස කටයුතු කරමින් ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝනය කර ඇති බවටද තීන්දු කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පළාත් පාලන මැතිවරණය නිසි කලට නොපැවැත්වීමෙන් මැතිවරණ කොමිසමද ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව තීන්දු කළේය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බව තීරණය කළ අධිකරණය මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වශයෙන් කටයුතු කළ නිමල් පුංචිහේවා, එෆ්.එම්. දිවාරත්න, එම්.එම්. මොහොමඩ්, කේ.පී.පී. පතිරණ සහ එස්. පි.ඒ. චාලස් යන මහත්මා මහත්මීන් ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)අ වගන්ති උල්ලංඝනය කර ඇති බවද සඳහන් කළේය.පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියම කරමින් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන වලින් සහයෝගය ලබා ගැනීමට නියම කළ අධිකරණය පෙත්සම්කරුවන්ට රුපියල් 1,50,000/- බැගින් නඩු,ගාස්තු ගෙවීමට රජයට නියම කළේය.
(බුද්ධිමාල් රුබේරු)