election-history

සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශය අනුවද, 1972 දී සම්මත කරනලද ජනරජ ව්‍යවස්ථාවට අනුවද රාජ්‍යනායකයා වූ අගමැතිවරයා තෝරාපත්කර ගනුලැබුවේ කේවල ඡන්ද ක්‍රමය අනුවය. 1977 දී බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජය ඔවුන්ගේ ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය ඇතුළත් පාලන ක්‍රමය එවකට විපක්ෂයේ දැඩි විවේචනයට ලක්විය. විපක්ෂයේ බොහෝ දෙනකු එම ව්‍යවස්ථාව හඳුන්වා දෙනු ලැබුවේ බහුබූත ව්‍යවස්ථාවක් ලෙසිනි.

කවදා හෝ තමන් බලයට පැමිණි දිනෙක ජේ.ආර්ගේ මෙම ව්‍යවස්ථාව අහෝසි කරන බවට එදා විපක්ෂ නායකයන් ජනතාවට දුන් සහතිකය තවමත් පවතින්නේ ඉටු නොවූ පොරෙන්දුවක් විලසින්ය. එදා විපක්ෂයේ සියලු දෙනාම විධායක ජනාධිපති ධුරය මුල්කරගත් ව්‍යවස්ථාව අහෝසි කරන බව පැවසුවත් ඔවුන් බලයට පැමිණි පසුවද එම ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීමෙන්ම පැහැදිලි වූයේ ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවට ඔවුන් දැඩි ආදරයක් දැක්වූ බවකි.



විධායක ජනාධිපති ක්‍රමය තේමා කරගත් 1978 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එවකට අගමැතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස පත්වුවද, පත්වුවද, ලංකාවේ පළමුවැනි ජනාධිපතිවරණය පවත්වන ලද්දේ 1982.10.20 වැනිදාය. 1982.09.17 වැනි දින ඒ සඳහා නාමයෝජනා භාරගනු ලැබීය.එම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන මහතා ඡන්ද මහතා ඡන්ද 34,50,811 ක්  ලබාගනිමින් සියයට 52.91 ප්‍රතිශතයක් මත ජනාධිපති ධුරයට පත්වීමය.එම සිදුවීමේ සිට සිට මේ දක්වා අවුරුදු 42 ක කාලසීමාවක් ගත වී තිබේ. මෙම කාලය තුළදී 1988.12.19 දින පැවති දෙවැනි ජනාධිපතිවරණය දේශපාලන ඉතිහාසයේ සඳහන් වන්නේ භීෂණයෙන් පිරීගිය ප්‍රචණ්ඩත්වය මුල්කරගත් ජනාධිපතිවරණයක් ලෙසිනි. එදා ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය හමුවේ පැවති මෙම ජනාධිපතිවරණය ජයගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ ආර්. ප්‍රේමදාස මහතාය. ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ සිරිමා බණ්ඩාරනායක මහත්මිය පරාජිත අපේක්ෂිකාව වූවාය.


ජනාධිපතිවරණයෙන් පසුව පරාජිත අපේක්ෂිකාව වූ සිරිමා බණ්ඩාරනායක මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරණ ඡන්ද පෙත්සම, තේරී පත් වූ ජනාධිපතිවරයකුට එරෙහිව ඉදිරිපත් කරන ලද පළමු ඡන්ද පෙත්සම ද වේ. පුරා දින 527 ක් විභාග කළ මෙම ඡන්ද පෙත්සම අධිකරණ ඉතිහාසයේ දීර්ඝතම නඩු විභාගයක් ලෙසින් වාර්තා අතරට එක්වී තිබේ.

1992 සැප්තැම්බර් මස 01 වැනි අඟහරුවාදා එම නඩු විභාගයේ තීන්දුව කියවීම සඳහා විනාඩි 45 ක් ගත වූ අතර තීන්දුව වූයේ 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 98 වැනි වගන්තියට අනුව පළමුවැනි වගඋත්තරකරු වන රණසිංහ ප්‍රේමදාස නීත්‍යානුකූල ලෙස ජනාධිපති ධුරයට තේරී පත්වී ඇති බවය. පෙත්සම්කරුවන් වෙනුවෙන් හා වග උත්තරකරුවන් වෙනුවෙන් සාක්ෂිකරුවන් 977 දෙනකු සාක්ෂි දුන් අතර නඩු වාර්තාව ටයිප් පිටු විසිහත් දහසද ඉක්මවා තිබුණි.


ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා 1993 මැයි මස 01 වැනි දින එල්ටීටී ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්ව මිය යෑම විශේෂ සිදුවීමක් වන්නේ ජනාධිපතිවරණයකින් තේරීපත් වූ විධායක ජනාධිපතිවරයෙකු එම තනතුරෙහි සිටියදීම ඝාතනය වීම හේතුවෙනි. එය ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රථම සිදුවීමක් ද වේ.ප්‍රථම වරට ආදේශක ජනාධිපතිවරයකු ලෙසින් පත්වීමේ වාර්තාව හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඩී.බී. විජේතුංග මහතාටය. ඔහු පාර්ලිමේන්තුවේ ඒ කමතික අනුමැතියකින් ජනාධිපතිවරණයකින් තොරව ශ්‍රී ලංකාවේ තුන්වැනි විධායක ජනාධිපතිවරයා වීමේ වරම් ලැබීය.


1994.11.09 වැනි දින පවත්වන ලද තුන්වැනි විධායක ජනාධිපතිවරණය විශේෂ හා සෝචනීය සිදුවීම්වලින් සමන්විත ජනාධිපතිවරණයක් ලෙසින් ඉතිහාසයට එක්වී තිබේ. 1994.10.07 වැනි දින පැවති එම මැතිවරණය සඳහා වූ නාමයෝජනා භාර ගැනීමේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගාමිණී දිසානායක මහතාද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය වෙනුවෙන් එවකට අගමැති ධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු තවත් කිහිපදෙනෙක්ම නාමයෝජනා භාර දුන්හ.


ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ එම ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අතරතුර දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ගාමිණී දිසානායක මහතා එල්ටීටී සංවිධානය මගින් ඝාතනය කිරීම ජනාධිපතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයකු අපේක්ෂක ධුරයේ සිටියදීම ඝාතනය කළ ප්‍රථම අවස්ථාව ලෙස සඳහන් වේ.1994 ඔක්තෝබර් මස 24 වැනි දින තොටලඟ පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රචාරක රැලියකදී ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වූ ගාමිණී දිසානායක මහතා බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත්වීම එදා දේශපාලන ක්ෂේත්‍රයම උඩු යටිකුරු කළේය.




ජනාධිපතිවරණ අපේක්ෂකයකුගේ මරණය නිසා පළමුවරට ආදේශක අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ලැබුවේද ලංකාවේ තුන්වැනි ජනාධිපතිවරණයේදීය. ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක මහත්මිය එම අවස්ථාවට හිමිකම් කියන්නීය.ජනාධිපතිවරණ ඉතිහාසයේ තවත් එක් සිදුවීමක් ලෙස සැලකිය හැක්කේ 2005 ජනාධිපතිවරණයේ දී එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කිරීමය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එල්ටීටීඊ සංවිධානය දියත් කළ මෙම ව්‍යාපාරය නිසා උතුරේ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය නැති වී ගියේය.

2015 පැවති ජනාධිපතිවරණයද තවත් අලුත් වාර්තාවක් දේශපාලන ඉතිහාසයට එක් කළේය. ඒ දෙවරක් අඛණ්ඩවම ජනාධිපති ධුරය හෙබ වූ මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයේ දී පරාජයට පත් කිරීමය. 1982 න් ආරම්භ වූ ජනාධිපතිවරණ තරග ඉතිහාසයේදී බලයේ සිටි ජනාධිපතිවරයා පරාජය කිරීමේ වාර්තාවට හිමිකම් කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එයද විශේෂිත සිදුවීමකි. අවුරුදු 42 ක් පැරණි වූ අපේ ජනාධිපතිවරණ ඉතිහාසයේ සිදු වූ අපූර්වතම හා සෝචනීය සිදුවීම් කිහිපයක් පිළිබඳව සටහන් වී ඇත්තේ ඒ අයුරිනි.මේ දිනවලජනතාව තවත් ජනාධිපතිවරණයකට සූදානම් වෙමින් සිටිති. එහි සිදුවීම් පිළිබඳව කිසිවකුටවත් අනාවැකි නොහැකිය. සැමගේම ප්‍රාර්ථනය වී පළ කළ ඇත්තේ සාමකාමී ජනාධිපතිවරණයකි.
(ගාමිණී පරණයාපා)