ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
මේ සම්බන්ධයෙන් කොළඹ දී පෙරේදා (17) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා පැවැසුවේ ම් තීරණය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල කල් තියා සූදානම් කර තිබූ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් නතර කිරීමට සිදුවූ බවයි.ප්‍රසංග සහ සැණකෙළි මැතිවරණ කාලයේ දී නැවැත්වීමෙන් ඒවා සංවිධාන කරන පිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ජීවත් වන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව පැවැසූ ආතාවුද මහතා මැතිවරණයක් පැවැක්වෙන්නේ යැයි පවසමින් ජන ජීවිතයේ අනෙකුත් කටයුතුවලට බාධා කිරීම නොකළ යුතු බව ද පෙන්වා දුන්නේය.මේ ප්රශ්නය පිළිබඳව වහාම මැදිහත්වී සොයා බලන අපේක්ෂකයකුට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ සංගමයේ මාධ්‍ය ලේකම් සිදේෂ් රංගන විජේවීර මහතා පැවැසුවේ තම කණ්ඩායම රට පුරා
ප්‍රසංග සහ සැණකෙළි සංවිධාන කරන්නේ රජයට ලක්ෂ ගණනින් විනෝද බදු ගෙවමින් බව ප්‍රකාශ කළේය.තමන් රටට බරක් නැති රජයෙන් කිසිම දීමනාවක් නොලබන පිරිසකැයි පැවැසූ විජේවීර මහතා ප්රසංගවලින් අය කෙරෙන දැරිය නොහැකි විනෝද බදු අඩු කිරීමට ද රජය අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කළේය. මෙම ප්රවෘත්ති සාකච්ඡාවේ දී සංගමයේ අනුශාසකවරුන් වන සරත් කුමාර ලියනගේ සහ එස්.ඩබ්ලිව්. පතිරණ යන මහත්වරු ද අදහස් දැක්වූහ.
සුජිත් හේවාජුලිගේ
0 Comments