election-news-aug5
එළැඹෙන ජනපතිවරණයට අදාළව අද(5) වාර්තාවූ පුවත් එකතුවක් මේ සමග පළවේ.

සරත් ෆොන්සේකා ඇප බඳී
  • 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතා අද (05) ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර තිබේ.සජබයේ සභාපති ලෙස කටයුතු කරන ඔහු ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව දන්වා ඇත.

     
  •  සිරිපාල අමරසිංහ ඇප බඳී
    ජනතා විමුක්ති පෙරමුණෙ ගම්පහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කිරීම සිදුවූ අතර ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය මඟින් ඔහුගේ නම යෝජනා කර ඇත්තේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසිනි. 


  •  දිලිත් ජයවීර සර්වජන බලයෙන්
    එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කරන බව විමල් වීරවංශ මහතා පැවසීය.
    ඊයේ (4) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම එකමුතුවේ මහා සමුළුව අමතමින් ඔහු ඒ බව පැවසීය.



  •  රාජ්‍ය සම්පත් අවභාවිත‍‍ාව වළකන්න පියවර
    ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ ඉහළ නිලධාරින් හෙට දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන්, රජයේ ආයතනවල සභාපතිවරුන් ඇතුළු පිරිසක් එලෙස කැඳවා ඇති බවයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර අද පැවති සාක්ච්ඡාවේදී මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබේ. 
  • ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑ ඒත් පොහොට්ටුවට ප්‍රශ්නයක් - ප්‍රසන්න
    ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක, තුන කාලය තුළ රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබේ.දිවුලපිටිය ආසනයේ ඊයේ (04) පැවති උත්සවයකින් පසුව  ඔහු වැඩිදුරටත් කීවේ පක්ෂය නිවැරදි තීන්දු නොගතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙතුන් දෙනෙකු පමණක් ඉතිරි විය හැකි බවය.
  • තැපැල් සේවකයින් 12000 ක්
    මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් කටයුතු සඳහා පමණක් සේවකයින් 12,000ක් සූදානම් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.ප්‍රමුඛතා සේවා යටතේ මැතිවරණ තැපැල් ලිපි ඇතුළු තැපැල් ඡන්ද අයදුම්පත් බෙදාහැරීම අද (05) සිට සිදු කෙරෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
  • එජාපය - ශ්‍රීලනිප ඉවරෙට ඉවරයි - රොෂාන්
    එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩ ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පොලොන්නරුවේදී අද (05) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබේ.2015 වසරේ දී ජනතාව විසින් යහපාලනය ආණ්ඩුව පත් කලේ හොරු එලවන්න ,හොරු අල්ලන්න වුවත් එය එසේ සිදු නොවීමෙන් හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත් වූ බවත් මේ වන විට දුෂණයට වංචාවට මේ රටේ යළි ඉඩක් නොමැති බවත් ඔහු කීය.
  • පැෆරල් වාර්තාව
    ජනාධිපතිවරණය ආසන්න කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 60කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (5) පවසා තිබේ.එම පැමිණිලිවලින් බහුතරයක් රාජ්‍ය බලය සහ වත්කම් අවභාවිතය සම්බන්ධ පැමිණිලි බව ඔහු මාධ්‍ය වෙත පැවසීය. මෙම ප්‍රචණ්ඩ සිදුවීම් තනි පුද්ගල සිද්ධීන් ලෙස වාර්තා වුවද, ඒවා සමස්ත සමාජයටම බලපාන බව කීවේය.භාණ්ඩ බෙදාහැරීම්, පත්වීම් සහ ස්ථාන මාරුවීම් පිළිබඳ පැමිණිලිවලට අමතරව රාජ්‍ය හා ආයතනික ආයතනවලින් සභාපතිවරුන් සහ සභාපතිවරුන් ඉවත්කිරීමේ සිද්ධීන්ද වාර්තා වී ඇති බවද ඔහු පැවසීය.


  • හෂාන් අප්සාරි සජිත්ට
    හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්න මහතා හා බිරිය අප්සාරි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමග එක් වී අද දින සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
  • තැපැල් ඡන්ද අයදුම්කිරීම අවසන්
    ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන් වනු ඇත. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12ට පෙර තැපැල් ඡන්ද අයදුම්පත්‍ර නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
  • සුරක්ෂා හා උරුමය නවතයි
    සුරක්ෂා සිසු රක්ෂණය උරුමය ඔප්පු යනාදී සියලු ඔප්පු ප්‍රදානය කිරීම් ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා ඇතුලු ප්‍රධානීන්ට දැනුම් ඇත.මෙමගින් ජනපති අපේක්ෂකයෙකු අනියමින් ප්‍රසිද්ධවීම අන් තරගකරුවන්ට හානියක් හා අසාධාරණයක් බව පෙන්වාදී තිබේ.
  • බොරු ප්‍රචාර ගැන මැකො නිවේදනය
    මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.මැතිවරණ නීතී රීති අනුව ඡන්ද විමසීම්වලදී ඡන්දය ප්‍රකාශ කළ හැකි වන්නේ, තමා ඡන්ද හිමියෙකු වශයෙන් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇති ඡන්ද කොට්ඨාශයට අයත් ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් හා තැපැල් ඡන්ද හිමිකම ඇති අයෙකුට තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේ දී ඔහු ඉදිරියේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් බව අවධාරණය කර ඇත.
  • ළගදි ටිකකගෙ ඇමතිකං ඉවත්වෙනවා - කංචන
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පල නොකර ඇමැති ධුරයේ සිටින පිරිස් ඉදිරියේදී එයින් ඉවත් විමට කටයුතු කරවි යැයි තමා විශ්වාස කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.ඔහු මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසා සිටියේ බොහෝ විට ආණ්ඩුවේ ඇමැති ධුරවලින් කටයුතු කරන පිරිස් ලබන 15 වනදාට ජනාධිපතිවරයාට සහාය පල කරනු ඇති බවයි.


  • මැතිවරණයට පොලිසියේ 50000 ක්
    මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 50,000කට අධික සංඛ්‍යාවක් රාජකාරියේ යෙදවීමට තීරණය කර තිබෙන බව පොලීසිය පවසයි.ඒ අනුව පොලීසිය සඳහන් කළේ අවශ්‍ය නිලධාරීන් පිරිස සම්බන්ධයෙන් ගණනය කිරීම් මේ වන විටත් ආරම්භ කර තිබෙන බවයි.එමෙන්ම යොදා ගනු ලබන ඡන්ද මධ්‍යස්ථාන ගණන අනුව මෙම නිලධාරීන් සංඛ්‍යාව වෙනස් විය හැකි බව ද පොලීසිය සඳහන් කර තිබේ.
  • මං වෙලාවට හොඳම කෙනාට සෙට් වෙනවා - රාජිත
    තමන් නිසි වෙලාවට අවශ්‍ය දේශපාලන තීන්දුව ගන්නා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. මෙතෙක් කාලයක් තමන් ගත් හැම තීන්දුවක්ම මිනිස්සු පිළිගත් අතර මේ වන විට ජනතාව හොඳටම පාඩමක් ඉගෙන ගෙන සිටින බව ඔහු කීය. දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන ක්‍රමවේදය ඉදිරියට යා යුතු වන බවත් එය වෙනස් කිරීමට ගියහොත් මීට පෙර පවතී පෝලිම් යුගය නැවත එනු ඇති බවත් හෙතෙම පවසයි.