election-news-august-7

අද (07) වන විට වාර්තාවන ජනපතිවරණ 2024ට අදාළ උණුසුම් පුවත් එකතුවක් පහතින් පළවේ.

  • ධම්මික නාවෙ ඇයි මගෙන් අහන්නෙපා - නාමල්

රටට තරුණ නායකත්වයක් අවශ්‍ය වන්නේ අභියෝග ඇති මොහොතක යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක සහ එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමෙන් පසු පැවසීය.


 රනිල් සමඟ සිටින පොහොට්ටුවේ සියළු දෙනාට නැවත පැමිණෙන්නැයි ගෞරවයෙන් ආරාධනා කරන බවත් හිත් අමනාපකම් සිදු වූ අඩුපාඩුකම් අමතක කරන ලෙසත් ඔහු කීය. ධම්මික පෙරේරා ගැන කිසිවක් කිව නොහැකි බවද ඔහු කීය.

  • ධම්මිකට ගෙනා 'කුණු' මඩ විපක්ෂෙට වැරදුණා - ජොන්ස්ටන්


පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු නෙළුම් මාවත කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ
ඊයේ දිනය වන විට මිලියන ගණනක මුදල් වියදම් කර විපක්ෂය විසින් "කුණු කන්ටේනර්" සහ "කැසිනෝ " පිළිබඳ මඩ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරන්නට සූදානමින් සිටි බවත්  තම පක්ෂය ඉවසිලිවන්තව සහ උපක්‍රමශීලීව අවසාන මොහොතේදී නිවැරදිම තීරණය ගත් හෙයින් විපක්ෂයේ උත්සාහය වතුරේ ගිය බවත්ය.
නාමල් රාජපක්ෂ මහතා අපේක්ෂකත්වයට පත් කිරීම හදිසියේ ගත් තීරණයක් නොවන බවත් එය හොඳින් සාකච්ඡා කර ඒකමතිකව පක්ෂය විසින් ගත් තීරණයක් බවත් ඔහු කීය.



  •  නාමල්ට ගියේ දිනේෂ් බෑ කීවාමලු

ධම්මික අකමැතිවූ අවස්ථාවේ පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට පෙර දිනේෂ් ගුණවර්ධනට ඒ සඳහා අඩගැසූ නමුත් අග්‍රාමාත්‍ය දිනේෂ් දැනටමත් රනිල් පිලට සහය දීමට තීරණය කර ඇති නිසා එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඇතැමුන් පවසන්නේ බැසිල්ගේ මුල සිට පැවති සැලසුම නාමල්ටම දෙන්නට බවත් අපවාද අවම කිරීමට 'වෙස් මුහුණු' අපේක්ෂකයෙකු ලෙස ධම්මිකවත් 'ගොබෙල්ස්' ප්‍රචාරකයෙකු ලෙස උදයංගවත් ඊට අනුයුක්ත කර තිබූ බවත්ය. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ නැවතත් අමෙරිකාවට පිටත්ව යාමට සූදානම්න් සිටින බවද මැතිවරණ මෙහෙයුමට සම්බන්ධ නොවනු ඇති බවටද වාර්තා පළව තිබේ.

  • අනිවාර්යෙන් පුතා දිනනවා - මහින්ද

නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී සියපුතු නාමල් ජනපති අපේක්ෂක ලෙස නම් කිරීමෙන් පසු මාධ්‍ය විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙසේ කීය."මං වසර 55 ක් දේශපාලනය කරල තියනවා. ඒ අත්දැකීම් වලින් කියන්නෙ.. නාමල් තමයි මේ සැරේ දිනන්නෙ ඒක අනිවාර්යයි. අපි ගාව ඉඳල ගියපු අයටත් මං එන්න කියනවා. මොකද අපි තමා දිනන්නෙ.නාමල් දිනනවා අනිවාර්යයි"

  • නාමල් පක්ෂය ගැන හිතුවට මං රට ගැන හිතන්නෙ - රනිල්

තමා ජනාධිපතිවරණයට පැමිණෙන්නේ සටන් කරන්න නොවන බවත් රට ඉදිරියට ගෙන යන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට බවත් අද (07) මාධ්‍ය ප්‍රධානීන් පැවැති හමුවේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.
නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වීම තමාට ගැටලුවක් නැති බවත් නාමල් පක්ෂයේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට අයිතියක් ඇති නමුත් තමා තමා තීන්දු තීරණ ගන්නේ  රටේ අනාගතය ගැන බවත් ඔහු කීය.



  •  අරගලකරුවන් එන්නේ 'කුඩයෙන්'ලු

ජන අරගල සන්ධානය ලෙස මීලඟ ජනාධිපතිවරණයට නුවන් බෝපගේ  ඉදිරිපත් කරන ඡන්ද ලකුණ අද (7) කොළඹ මහජන පුස්තකාලයේදී අනාවරණය කරනු ලැබූ අතර ඔහු ඉදිරිපත් වන්නේ “කුඩය” ලකුණෙන් බව ප්‍රකාශයට පත් විය.

  • සජිත්ද රනිල්ද ? රිෂාඩ් දෙගිඩියාවක


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නායකත්වය ලබා දෙන සමස්ථ ලංකා මහජන කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම අද සිදුකරන්නයට සිටියත් පවතින නව ප්‍රවණතා හමුවේ ලබන 14 වැනිදාට එය දන්වන බව කියමින් කල් තබා තිබේ. සජිත් හෝ රනිල් දෙනාගෙන් එක් අයෙකුට ඔහු කැමති බව මින් ඉහත බවසා තිබුණි.

  • දයාසිරි සජිත්ට සහය දෙයි


එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අද ගිවිසුමක් අත්සන් කරන ලදි. මෙම උත්සවය වොටර්ස් එජ්හි පැවති අතර ශ්‍රීලනිප කාණ්ඩ තුනකට කැඩී ඇති පසුබිමක එක් පිලක් රනිල්ටත්,එක් පිලක් විජේදාසටත් තුන්වන දයාසිරි පිල සජිත්ටත් සහය පළකර ඇත.




  • රනිල් එක්ක බිග් මැච් එකේදී එකට බීවට අපෙ බොක්ක වෙනස් - හර්ෂ


තමා දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් බවද ඔහු සමඟ කිසිදු පෞද්ගලිකක් ආරවුලක් නොමැති බවද සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද (07) පාර්ලිමේන්තුවේදී කීය.
ඔහු මෙහිදී පවසා සිටියේ තමා දේශපාලනයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ බවයි.
“රෝයල් තෝමියන් මැච් එකේදිත් අපි හමුවෙලා හොඳට බියර් එකක් බීලා සින්දුවක් කියලා ඉන්නවා. ඒකෙ කිසි ගැටලුවක් නෑ.
හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන්, දේශපාලන වශයෙන් තමයි ප්‍රශ්නෙ තියෙන්නේ” ඔහු කීය.

  • ශිෂ්ට සම්පන්න අනුර පත්කරන්න ජනතාව බලා සිටිනවා - හරිනි


"ශිෂ්ට සම්පන්න පාලනයක් ගෙනයා හැකි නායකයකු තෝරාගන්න වසර ගණනාවක් රටේ ජනතාව බලා සිටියා. තව දින 48 ක කාලය තුළ ඒ නායකයා පත්කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ජනතාව ඒ වෙනුවෙන් උනන්දුවෙන් බලා සිටිනවා" යයි
 ජා.ජ.බ. නායක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවැසුවාය.

  • මැතිවරණ පැමිණිලි 121 අපේක්ෂකයින් 18


ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 121 ක් ලැබී තිබෙන බවත්  දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට පැමිණිලි 41 ක් සහ ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 80 ක් ඒ අතර වන බවත් මැතිවරණ කොමිසම පවසයි.
ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අපේක්ෂකයින් 18 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බවද දන්වා ඇත.

  • මාලිමාව යටතේ මන්ත්‍රීලාට ජනපතිලාට විශ්‍රාම වැටුප් නැහැ


ජාතික ජනබලවේග ආණ්ඩුවක්  යටතේ කිසිලෙසකත් හිටපු ජනාධිපතිවරුන් හෝ මන්ත්‍රීවරුන් පෝෂණය නොකරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසා තිබේ.
වසර 05ක් සේවයේ නියුත වූවායින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත්, එලෙස ජනතා මුදල් නාස්ති කිරීම අනුවණ ක්‍රියාවක් බවත් කියන ඔහු ඒ සියල්ල තම ආන්ඩුවකදී අහෝසි කරන බව දැන්වීය.