අද (08) උදෑසන වන විට වාර්තාවන ජනපතිවරණ 2024ට අදාළ උණුසුම් පුවත් එකතුවක් පහතින් පළවේ.
  •  ඡන්ද සලකුණු ගැසට්ටුව ළඟදීම

මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සඳහා වූ ඡන්ද සලකුණු සහිත ගැසට්ටුවද ඉදිරියේදි නිකුත් කරන බව

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා තිබේ. එය උප ලේඛන 01 හා උප ලේඛන 02 ලෙස කොටස් දෙකක් පවතිනු ඇති අතර උප ලේඛන 01හි ලියාපදිංචි දේශපාලන පක්ෂ සඳහා නිකුත් කර ඇති ඡන්ද සළකුණුද  උප ලේඛන 02 හි ස්වාධීන අපේක්ෂකයන්ට ලබාගත හැකි සලකුණුදක්වනු ඇත.


  • කවුරුවත් නාමල් කම් කම් කිව්වෙ නැහැ - හඳුන්නෙත්ති


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර මුළු රටම හිනස්සවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙන්ති නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව අමතා පැවසීය.
"අද හොරු සෙට් එක දෙකට බෙදිලා. එදා ඉදන් කරපු හොරකම් මැරකම් ඔක්කොම වමාරනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එයාලගේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කරලා රට්ටු හිනස්සන කතාවක් කියනවා, ඒ තමයි අරගලෙන් ඉල්ලුවේ තරුණයෙක් ඔන්න අපි තරුණයෙක් දුන්නා එයාව ජනාධිපති කරගන්න කියලා.
එදා අරගලය කරපු දේශ හිතෛෂී ප්‍රජාව කිව්වේ ගෝඨා ගෝ හෝම්, රාජපක්ෂ ගෝ හෝම් කියලා. එතන කොතනකදිවත් කිව්වෙ නෑ නාමල් කම් කම් කියලා.ධම්මික පෙරේරට ඡන්ද ඉල්ලන්න කියලා එයා බෑ කිව්වහම මේ සුරංගනා කතා කියලා කැටයම් දාලා නාමල්ව පුප්පන්න හදනවා. ඒකම ධම්මික පෙරේරා ඉල්ලන්න කැමති වෙලා තිබ්බනම් කියන්නේ වෙනම කතාවක්.




  • ඇමති පට්ටම් 8 ක් ගැලවේ


ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව වාර්තා වේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටකි.
එම රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත්ය.


  • ඊයේ හවස වනවිට අපේක්ෂකයින් 24


මේ වන විට (09) ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 24 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බව වාර්තාවේ.
ඊයේ (08) දිනයේ දී ද තවත් අපේක්ෂකයින් දෙදෙනකු ඇප මුදල් තැන්පත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.
එලෙස ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් වන්නේ; අනුර සිඩ්නි ජයරත්න මහතා සහ ධනංජය බණ්ඩාර දීගල්ල යන අයයි.
ඔවුන් දෙදෙනා ම ඡන්ද හිමියෙකු විසින් නාම යෝජනා කළ අපේක්ෂකයන්ය.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ; මෙවර ජනාධිපති අපේක්ෂකයින් ලෙස පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 11 දෙනෙකු ද, ස්වාධීන අපේක්ෂකයින් ලෙස 12 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එක් අපේක්ෂකයෙකු ද තරග කිරීමට ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

  • බොරුවට නම් දෙන්න එපා ඡන්ද පත්‍රිකා වල ෂීමාවක් තියනවා - මැකො



 ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම ගැටලුවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා රූපවාහිනී නාලිකාවකට පැමිණ පැවසුවේය.
"ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන යන්ත්‍රවලත් සීමාවක් තිබෙනවා... දිග ප්‍රමාණය. මේක ප්‍රමාණය ඉක්මවා ගියොත් ඡන්ද පත්‍රිකාවේ හැඩය වෙනස් කරන්න වෙයි. ඡන්ද පත්‍රිකාව දිගු වුණොත් ප්‍රායෝගික ගැටලු රැසක් ඇති වෙනවා. ඡන්දය දෙන කුටිය තුළ වැඩි වෙලාවක් එක ඡන්ද දායකයෙකුට ගත කිරීමටත් සිදුවෙයි." සභාපතිවරයා කීය.


  • පවිත්‍රා රනිල්ට


ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බව ඊයේ (08) ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය. ඇය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට තමා  අතිශයින්ම පෞද්ගලික හේතුවක් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව දැනුම් දී ලියුමක් යවා ඇත.
ඇය ප්‍රබල රාජපක්ෂවාදියෙකු ලෙස පසුගිය කාලයේ හැසිරුණි.


  • රනිල්ගෙනුත් සන්ධානයක්



රනිල් වික්‍රමසිංහ ජනාධිපති  ස්වාධීන අපේක්ෂකට සහාය දක්වන සන්ධානයක් ලබන 14 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය
මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා එක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 102ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.

  • පැමිණිලි 157 දක්වා ඉහළට


ජනාධිපතිවරණයට අදාලව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් තිබෙයි.
ඊයේ (08) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය සඳහා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව පමණක් 20ක් බව පැවසිණි.


  • මැතිවරණ නිලධාරීන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වැටළීමක්


මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (08) පෙරවරුවේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ තිබුණි.
ඒ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී නව ඉන්ධනහල් බලපත්‍ර ලබාදීම, ගබඩා පර්යන්ත සමාගමට නව පිරිස් බල සැකැස්මක් හඳුන්වාදීම, ඇතුළු කරුණු කිහිපයකට අදාළව මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක විමර්ශන කටයුතු සඳහාය.


  • තැපැල් ඡන්ද අයදුම් කිරීම අද (9) අවසන්


එලැඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින්ට තැපැල් ඡන්ද අයදුම් කිරීම සඳහා ලබා දී ඇති කාලය අදින් (09) අවසන් වනු ඇත.
අගෝස්තු මස 05 වැනිදායින් අවසන් වන්නට නියමිතව තිබූ එය අද දක්වා කල් තැබුණ අතර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට ආසන්නතම මැතිවරණ බල ප්‍රදේශයේ දිස්ත්‍රික් කාර්යාලවලට ගොස් ඉල්ලුම්පත් භාරදෙන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා ඇත.