election-news-updates
අද (13)  වන විට වාර්තාවන ජනපතිවරණ 2024ට අදාළ උණුසුම් පුවත් එකතුවක් පහතින් පළවේ.
✪ දිලිත් සටනට බසී

2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ පිරිසක් ඊට එක්ව තිබුණි.
එහිදී අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, තරුව ලකුණින් මෙවර ජනාධිපතිවරණයේ දී දිලිත් ජයවීර මහතා තරග කිරීමට නියමිත බවය.

✪ චොකා මල්ලි රිටර්න්ස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී රනිල් වික්‍රමසිංහ දිනවීමට ගිය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නැවත හැරී නාමල් රාජපක්ෂ දිනවීමට තීරණය කර ඇති අතර බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයට ඔහු නැවත ඇවිත් මේ බව කීය.
රනිල්ගේ එජාප පාක්ෂිකයෙකු මැතිවරණ සමයේ මරාදමා මිනිමැරුම් චෝදනා මත සිරගතව සිටි ප්‍රේමලාල් ජයසේකර පසුව නිදහස් කෙරිණි. ඔහුට මරණීය දණ්ඩණය නියමව සිටි කාලයේ පවා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා පැමිණීමට අවශ්‍ය විධිවිධාන එකල රාජපක්ෂ පාලනය යටතේ සැලසී තිබිණි.


✪ හිරුණිකාගේ අසුන නාලිකාවකින් ‍බ්ලොක් -හරීන්

සමගි ජනබලවේගය පක්ෂයේ හිස්වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හැකිනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබාදී පෙන්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් සිදුකරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා  බදුල්ලේ පැවති 'එක්ව ජයගමු' රැස්විමේදී පවසා තිබේ.
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා දිය හැකි වුවත් එක්තරා නාලිකාවක් මෙම මන්ත්‍රීධූරය ලබා දීම සඳහා සජිත් මහතාට ඉඩ ලබා නොදෙන බව රැස්ව සිටි පිරිස අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේය.



✪ දෙමළ පොදු අපේක්ෂකයාගෙන් නිදහසට කරුණු අසයි

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ( ITAK ) නියෝජනය කරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බී.අරියනේත්‍රම් පක්ෂයේ අනුමැතියක් නොමැතිව හා අනුදැනුමක් නොමැතිව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වශයෙන් නාම යෝජනා ලබා දීමට පියවර ගැනීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයාගෙන් දෙමළ පක්ෂ නිදහසට කරුණු විමසා ලිපියක් බාර දී තිබේ. ඊයේ (12) භාර දී ඇති එම ලිපියට සතියක් ඇතුළත නිදහසට කරුණු හා හේතුදක්වන්නැයි ඉල්ලා ඇත.
දෙමළ පොදු අපේක්ෂකයෙකු නොදමන්නැයි එකඟතාවයකට පැමිණ ඇති දෙමළ පක්ෂ එවැන්නකු නිසා දිනන සිංහල නායකයාගෙන් වැඩගන්නට බැරිව යන බව පෙන්වාදී ඇත.




✪ ඩයස්මීලා තාම නෑලු

ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වන දක් දින දක්වා මෙරටට පැමිණෙන ගුවන්යානාවල සැලකිය යුතු වැඩිවීමක් හෝ අඩුවීමක් මෙතෙක් වාර්තා නොවන බව ගුවන් තොටුපොළ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන නිලධාරියකු සඳහන් කළේය.
කිසිදු ගුවන් සමාගමක් මේ දක්වා තම සමාගමේ අමතර ගුවන් යානා ශ්‍රී ලංකාවට යොමු කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත් කිරීමක් සිදු කර නැති බවද හෙතෙම පැවසීය.

✪ සෑම ලේ බිංදුවක් ජනතාව වෙනුවෙන් වැය කරනවා - සජිත්

ශරීරයේ සෑම ලේ බිංදුවක් පාසාම ජනතාවට දිවා රෑ සේවය කරන බවද පොදු ජනතාව ජයග්‍රහණය කරන යුගය සැප්තැම්බර් 21 වනදා අරඹන බව ද  සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහියංගනයේ පැවති සමගි ජන බලවේගයේ ජන පවුර වැඩසටහනට සහභාගි වෙමින්  කියා තිබේ.


✪ අනුර ප්‍රියදර්ශන රනිල්ට

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනගමින් මෙවර ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.


✪ නාමල්ගේ නම දෙන්නේ 14 වනදා

ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන 14 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක් වූ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාත්මක විනය ක්‍රියාමාර්ග දැන් සිදු නොකරන බව සාගර කාරියවසම් කියා සිටියද එම ක්‍රියාමාර්ග දැනටමත් ගනිමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසුවේය.

✪ සජිත්ගෙන් රැළි 100 ක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක රැලි සියයක් සංවිධානය කර ඇති බව සමගි ජන බලවේගය පවසයි. ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාව දැනුවත් කිරීමට තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි.
කුමන පක්ෂයක් සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වුවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරන්නේ දුරකථනය ලකුණ යටතේ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළේය.

✪ පාඨලී නැවතත් සජිත්ට

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට එකඟතාව පළකර තිබේ.
ඒ සඳහා වන ගිවිසුම හෙට (14) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී අත්සන් කිරීමට නියමිතය.



✪ බද්යුදින් කාටද හෙට (14) කියනවලු

රිෂාඩ් බද්යුදින් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේදි සහාය පළ කරන්නේ කාටද යන්න 14 දා ප්‍රකාශයට පත් කරන බව එම කොංග්‍රසය ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය.

✪ වත්කම් බැරකම් ප්‍රකාශ මන්ත්‍රීවරු 20 ක නැතිලු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනකු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හැර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසා තිබේ. මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් විසිදෙනාට යළි සිහිකැඳවීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාර දිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 169කි. මේ සෑම මන්ත්‍රීවරයකුම සෑම වර්ෂයකම ජුනි 30 වැනිදාට ප්‍රථම සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාරදිය යුතුවේ.

✪ පොළොන්නරුවේ විරෝධයක්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොළොන්නරුව සමුපකාර සංවර්ධන තනතුරේ රාජකාරී ආවරණය සදහා දේශපාලන මැදිහත්වීම මත නිලධාරියකු පත් කිරීමට තමන් දැඩි විරෝධය පළ කරන බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිතිවල සභාපතිවරු හා අධ්‍යක්ෂවරු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඊයේ (12) සඳහන් කළහ.


✪ දැන් රණවිරුවෝ සජිත්ටලු

මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ සමස්ත විශ්‍රාමික රණවිරුවන්ගෙන් සියයට හැත්තෑ අටක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව රටපුරා ගෙයින් ගෙට යමින් සිදුකළ ජනමත සමීක්ෂණයේදී තහවුරු වී ඇති බව සමගි දිවිදෙන රණවිරු බළකායේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික ලුතිතන් කර්නල් නාමල් තිලකරත්න මහතා කීය.


✪ අපි ආවොත්  සුදුසුකම් සහිත ඇමතිවරු 25 ක් පමණයි

ජාතික ජන බලවේගය මහරගමදී පැවති ව්‍යාපාරික හමුවක් අමතමින් නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ උපරිම අමාත්‍ය ධුර ප්‍රමාණය 25ක් දක්වා සීමා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිසිවෙකු පත් නොකරන බවත්ය.
ආණ්ඩුවේ අමාත්‍ය ධුර 25 සදහා නියෝජ්‍ය අමාත්‍යවරුන් පමණක් නම් කරන බවත් රාජ්‍ය ආයතන පාලනය සඳහා විවිධ ස්ථානයන්හි සිටින සුදුසුකම් සහිත පුද්ගලයන්ට ඒවා බාර දෙන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
අමාත්‍යවරුන් සඳහා නිල නිවාස, විදුලි බිල්, වතුර බිල්පත් රජයෙන් ගෙවීම අත්හිටුවන බවත් අමාත්‍යවරයකු සඳහා සාමාන්‍ය එක් වාහනයක් පමණක් ලබාදෙන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.


✪ මිහින්තලේ හිමි සජිත්ටලු

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රටේ ජනතාවගේ සහයෝගය සමගි ජනබල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නයි ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියෝ පැවසූහ. ධම්මරතන නා හිමියන් මේ බව කියා සිටියේ ජනාධිපති අපේක්ෂකවරුන් වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලියට සජිත් ප්‍රේමදාස මහතාගේ එකඟතාවය පළවීමෙන් අනතුරුව එම එකඟතා ලිපිය පිරිනැමීම සඳහා පැමිණි දූත පිරිස සමග පැවති සාකච්ඡාවකදීය.




✪ රනිල් 17 දා අනුරාධපුරින් වැඩ පටන්ගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (17) අනුරාධපුරයෙ දී මංගල රැළිය පවත්වමින් ජනපති සටන අරඹන බව වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ මංගල ජන රැළිය අනුරාධපුර සල්ගාදු පිටියේදී සෙනසුරාදා පස්වරු 2 ට පැවැත්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගැනීමෙන් පසු දේශපාලන වශයෙන් සෘජුවම පවත්වන පළමු ජන රැළිය මෙය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.


✪ තැපැල් ඡන්දෙට දින 4 ක්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු කර තිබේ.
එම කොමිසම පැවසුවේ, තැපැල් ඡන්ද සලකුණු කිරීමේ නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් හෙට (14) රැස්වන කොමිෂන් සභාවේදී තීරණයක් ගැනීමට නියමිත බව ද කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

✪ ජෙප්පො බාල්දි පෙරළුවට රනිල් 1700 දුන්නා - තොණ්ඩමන්

දිගු කළක් වතු කම්කරුවන් මුහුණ දුන් වැටුප් ගැටලුව වියවුලක් බවට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ගත් උත්සාහය අසාර්ථක වී වතු කම්කරුවන්ගේ 1,700 වැටුප් සිහිනය සැබෑවක් වූ බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 1,700ක් දක්වා වැඩි කර ගැනීමේ ගැටලුව සාර්ථකව විසඳාලීමට මැදිහත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ පාර්ශ්වයන්ට සමස්ත වතු ජනතාව වෙනුවෙන් ස්තුතිය පළ කරන බවද කියා සිටියේය.


✪ මැතිවරණ කොමිසමේ වාර්තාව

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිසම සඳහන් කළේ අගෝස්තු 12 පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 29ක් ලැබී ඇති බවයි.
එමෙන්ම ජූලි 31 වනදා සිට මේ දක්වා වාර්තා වී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 366ක් බවද මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අනිද්දා  (14) දහවල් 12.00ට අවසන්  කෙරේ.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන (15) පෙරවරු 9.00ට  ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවට දැනට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයන්  සංඛ්‍යාව 28කි.
නාම යෝජනා බාර ගන්නා දින රාජගිරිය මැතිවරණ කාර්යාල පරිශ්‍රයට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවෙන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහුද  ආරක්ෂාව සඳහා යෙදවෙති.