✪ රනිල්ගෙ නම කපන්න පෙත්සමක්
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නුසුදුසු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥ ශාන් රණසූරිය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පෙත්සමින් කියා ඇත්තේ ඔහු තර්ක කරන්නේ වැඩබලන පොලිස්පති තනතුර හා අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පිරවීමට අදාළ ජනපතිවරයා කටයුතු කර ඇති පිළිවෙත මධ්‍යයේ අලී සබ්රි අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත්කළ ජනාධිපතිවරයා චේතනාන්විතව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන බැවින් ඔහුට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කිරීම නුසුදුසු බවය.
✪ නාමල් නාමයෝජනා අත්සන් කර ඇප තියයි
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් අද ඇප තැන්පත් කෙරුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ඇප මුදල බැන්ද අතර එයට පෙර නාමල් සිය පවුලේ අය හා පක්ෂයේ හිතවතුන් සමග විජේරාම පාර මහින්ද නිවසේදී ආශිර්වාද උත්සවයකට එක්වී නාම යෝජනා අත්සන් කළේය.
✪ නිදහස් චත්රරශ්රයේ තියන්න ගිය නාම යෝජනා උත්සවේ නවතී
කොළඹ නිදහස් චතුරස්රයේදී අද (14දා) දින පැවැත්වීමට නියමිතව තිබූ බව කියන ජය පිරිත් දේශනාවක් මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් නැවැත්වූ බව කොමිෂන් සභාව සඳහන් කරයි.
ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයකු වෙනුවෙන් ආශීර්වාදය පතා නිදහස් චතුරස්රයේ ජය පිරිත් දේශනාවක් පැවැත්වීමට සූදානම් වන බවට ලැබුණු පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ මැතිවරණ කොමිසම මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
වහාම ක්‍රියාත්මක වූ මැතිවරණ කොමිසමේ නිලධාරීන්, පිරිත සංවිධානය කරන බවට තොරතුරු ලැබුණු කොළඹ ප්‍රධාන පෙළේ විහාරස්ථානයක නායක හිමියන් හමුවී ඇති අතර පිරිතට මුදල් වැය කරන රාජ්‍ය ආයතන කිහිපයකට ගොස් එහි නිලධාරීන් ද හමුවී මේ පිළිබඳ දැනුම් දී ඇත.
✪ නාමල් දාපු එක ගොං
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ගනු ලැබූවේ ගොං තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.එනිසා අවසන් මොහොතේ හෝ ඔහු ජනපති සටනින් ඉවත් වුවහොත් එය බුද්ධිමත් තීරණයක් බව ද ඒ මහතා සඳහන් කරයි.
✪ 40 ක් ඇප බැඳීමෙන් පසු වේලාව අවසන් කරයි
එළඹෙන සැප්තැමබර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද දවල් 12 ට අවසන් විය.
අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිසම පවසන අතර
නාමයෝජනා භාර ගැනීම හෙට (15) පෙරවරු 9 සිට 11 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු කිරීමට නියමිතයි.
✪ පාඨලී නැවත සජබෙට
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තීරණය කර අද තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක උත්සවයකින් මේබව දන්වා සිටියේය. ඔහු සජිත් ප්‍රෙමදාස සමග විපක්ෂය නියෝජනය කරමින් සිටි මන්ත්‍රීවරයෙකුවූ නමුත් පසුගිය කාලයේ ස්වාධීන වී සිටියේය.
✪ පොදුජන එක්සත් පෙරමුණ රනිල්ටලු
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් පමණ ඇතුළත්ව සිටින පොදුජන එක්සත් පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව එම පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය ඇතුළු ප්රගතිශීලි වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක් පොදුජන එක්සත් පෙරමුණ සමඟ සන්ධාන ගතවී ඇති අතර ලසන්ත අලගියවන්න , චාමර සම්පත් දසනායක , ජෝන් සෙනෙවිරත්න, දුමින්ද දිසානායක සහ වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාදු යන අයද මෙයට එක්ව තිබේ.
✪ රාජිත පන්සලකදී රනිල්ට එක්වේ
සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන බව ඊයේ (13දා) දැනුම් දුන්නේය. රාජිත සේනාරත්න මහතා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ගිවිසුමකට අස්සන් කර නිල වශයෙන් තීරණය ප්‍රකාශයට පත් කළේය.
✪ ජනපති ඡන්දෙ තියන්න හැකිවුනේ මං කළ දේ නිසා - රනිල්
2022 ජූලි මාසයේදී රටේ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා 2024 සැප්තැම්බර් 21දා ඡන්දය භාවිත කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බත්තරමුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ අද පැවති උත්සවයකට එක්වෙමින් කීය.
✪ දිලිත් හා විජේදාසත් නාමයෝජනා අත්සන් කරති
මින් ඉහත ඇප මුදල් තැන්පත් කළ ජනපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ කඩුවෙල මැද නාවල පිහිටි ඔහුගේ නිවසේදීත් ජනපති අපේක්ෂක දිලිත් ජයවීර බොරැල්ලේ මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදීත් සිය නාමයෝජනා සඳහා අත්සන් කිරීම සිදුකරන ලදි.
✪ ජනක ඇප තැන්පත් කරයි
එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් හිටපු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව තිබේ. ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ, එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය මහතාය.
✪ සැප්තැම්බර් 04, 05 සහ 06 තැපැල් ඡන්දේ
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද වීමසීම සැප්තැම්බර් 04, 05 සහ 06 යන දින සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියි.
✪ ඩිල්ෂාන් සජිත්ට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු නායකයකුවන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක් එක්විය. ඔහුට කළුතර සජබ සංවිධායක ධූරයක් පිරිනැමිණි.
✪ ආබාධිත අයට ඡන්ද දාන විදිහ කියයි
එළැඹෙන ජනාධිපතිවරණයේදී ආබාධිත පුද්ගලයින් ඡන්දය භාවිත කිරීමේදී ඔවුන්ට නිකුත්කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
✪ රනිල්ගේ පොහොට්ටු ටීම් එකේ ලේකම් රමේෂ්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඒ මහතාගේ මැතිවරණ කඳවුර සමග එක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් නිර්මාණය කිරීමට නියමිත නව සන්ධානයේ මහලේකම් ධුරය සඳහා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ නම යෝජනා වී තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළේය.
මෙම නව සන්ධානය අද (14) දිනයේදී එළිදැක්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේය.
✪ මැතිවරණ පැමිණිලි වාර්තාව
එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට 408ක් දක්වා ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ගතවු පැය 24 තුළ පැමිණිලි 42ක් වාර්තා වී ඇති අතර මැතිවරණ නීතිරීති උල්ලාංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 37ක් සහ වෙනත් පැමිණිලි 05ක් ඒ අතර වෙයි.
එහිදී ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 20ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වලට පැමිණිලි 22ක් ලැබී ඇති බව සඳහන්ය.
0 Comments