2024 ජනාධිපතිවරණයත් සමඟ ඡන්ද ලකුණු ගැන දැන් නැවතත් සමාජයේ කතා බහට ලක්වීමට පටන්ගෙන තිබේ. ඒ කාලේ නම් කිව්වේ කපල මැරුවත් කොළ ඒත් නැත්නම් කපල මැරුවත් නිල් කියාය. කොළ කිව්වේ පත්තියම් වුණ යුඇන්පීකාරයන්ටය. UNP යන වදනට ඩී.ඇස්.ලාගේ කාලේ පොදු ජනතාව ආමන්ත්‍රණය කළේ උන්ගේ නෑයන්ගේ පක්ෂය කියාය. ලකුණ වුණේ අලියාය. අලියා කිව්වාම වල් අලියායයි ප්‍රශ්න එහෙම අහන්නට යන්න නරකය. කැපුවත් නිල් කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ටය. පක්ෂයේ ලකුණ වූයේ ‘අත’ ය විජය කුමාරතුංග ඇතුළු පිරිස ශ්‍රී ලංකානිපය කඩාගෙන ගිය වෙලේ ෆුල්ඩම් එක දැම්මේ ‘අත’ සලකුණ තම අලුත් පක්ෂයට ගැනීමටය. නමුත් වැඩේ හරිගියේ නැත. අන්තිමට විජය කිව්වේ අතෙන් බැරිනම් කකුලේ සලකුණෙන් නව පක්ෂයක් ආරම්භ කොට ප්‍රගතිශීලි බලවේගය ඉදිරියට ගෙන යන බවය. ඇහැට කනට – අතට පයට කියා ශ්‍රිලනිපයේ නිල පුවත්පත වු ‘දිනකර’ චන්ද්‍රිකාට හිමි වුණත් ‘අත’ හම්බුණේ නැත. විජය චන්ද්‍රිකා ඉලංගරත්න, නීතිඥ වී. ඩබ්ලිව් කුලරත්න ඇතුළු පිරිස මැතිවරණ කාර්යාලයට ගොස් නව පක්ෂයට ලකුණක් තෝරන්නට විය. විජය ලකුණක් තෝරා ලකුණ විග්‍රාහකළේය. සියලු සත්ත්වයින්ට අත්‍යවශ්‍ය ශරීර අංගය අපේ අලුත් පක්ෂය තෝරා ගමු මොකක්ද ලකුණ ඉලංගරත්න ඇසිය. ‘ඇස’ විජය පැවසීය.
මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය ආරම්භය තරමට ඉතිහාසයක් පක්ෂ ලකුණුවලට නම් නැත. ලංකාවේ ඉපැරණිම දේශපාලන පක්ෂය ලෙස ලියාපදිංචිව ඇත්තේ ලංකා සමසමාජ පක්ෂයයි.
ලංකාවේ මැතිවරණ ක්‍රමය ආරම්භ කළ යුගය ගැන සොයා බලන විට පෙනී යන්නේ ආරම්භයේදී පක්ෂ තෝරා බේරා ගැනීමට අපේක්ෂකයින් තෝරා බේරා ගැනීමට උපකාර වී ඇත්තේ ‘වර්ණ’ බවය. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී ඡන්දය භාවිතයේදී තිබී ඇත්තේ නිල් පාට පෙට්ටිය, කොළ පාට පෙට්ටිය, කළුපාට පෙට්ටිය. ආදී ලෙසය. සමහරු තම ඡන්ද කාඩ්පත තමන් කැමති වර්ණය සහිත කුටියට ගොස් ඡන්දය නොදමා සරම් කෙටියේ තැනක සඟවාගෙන එන්නේ එළියට හාංකවිසියක් නොදන්නා ලෙසය. ඉන්පසු ඔහු කරන්නේ එය මුදලට අලෙවි කිරීමය. සොල්බරි කොමිසම මේ අඩුපාඩුව ගැන නිරීක්ෂණය කළෙන් ඊට පිළියම් යෙදුවේ ඩොනමෝර් කොමිසම විසිනි. 1947 ඡන්දයේදී ඡන්ද ලකුණු ක්‍රමය හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව එයයි. 1947 ඡන්දයේදී ඡන්ද ලකුණු 24 ක් හඳුන්වා දෙන ලදි. අලියා, අත, බයිසිකලය, ගෙය, සමනලයා, යතුර, කණ්ණාඩි කූට්ටම, කුරුල්ලා, රෝදය, තරුව, තරාදිය, කුඩය, බස් රථය, කෝප්පය, ඔරලෝසුව, ලාම්පුව, පුටුව, ගස, අන්නාසි ගෙඩිය, මේසය, මල, ගුවන්යානය, ඇස සහ අවශ්‍ය ඡන්ද ලකුණ වූයේ හැන්දය.
ඒජාපයේ පිටකෝට්ටේ ඇති සිරිකොත මැදුර තුළ ඉදිරිපස ඇත්තේ පොකුණකි. පිටකෝට්ටේ කියා කිව්වේ ‘සිරිකොත’ මුලින් තිබුණේ කොල්ලුපිටියේ නිසාය. පසුව එම ගොඩනැඟිල්ල විකුණා දමන ලදි. මේ පිටකෝට්ටේ සිරිකොත පොකුණේ කලක් පිත්තලෙන් තැනු ඇත් රජකුගේ පිළිමයක් විය. යූඇන්පිය අලියාත් ඇතාවත් පටලවා ගැනීම ගැන මම ලියූ ලිපියක් එවකට සේවය කළ පුවත්පතේ ලිපියක් පළ කළේය.
1947 දී ඡන්දයට මතුගම අසුනට යුඇන්පියේ තරග කළේ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරය. කන්නන්ගර සමඟ හැප්පෙන්නට ආසනයේ ජනතාව බලෙන් අත්සන් ගත්තේ හොරණ ශ්‍රීපාලි නිර්මාතෘ විල්මට් ඒ පෙරේරාය. UNP යෙන් ඡන්දය ඉල්ලු කන්නන්ගරගේ ලකුණ වූයේ අලියාය. විල්මට් පෙරේරාගේ ඡන්ද ලකුණ වූයේ ‘ඈතා’ ය අලියත් – ඇතාත් අතර වෙනස ඕං ඔහොමය. විල්මට්ගේ ජයග්‍රහණයට බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ ජය ගන්නා ලකුණ ඈතා නමින් පළවූ කවි පෙළකි. එහි මෙසේ සඳහන් විය.
මුනිඳුට තුන් මසක් දානය දීපු ඇතා
මෙත් බෝසතුගෙ සිත්කලු වාහනය ඇතා
බුදු බව පැතුවේය නාලාගිරි ඈතා
මතුගම අසුන ජයගන්නා ලකුණ ඇතා
ගාමිණි රජුට ජය සැලසිය කඩොල් ඇතා
සිංහල දීපයේ ලකුණට යෙදෙය ඇතා
සේවාකමට පෙරමුණ ගත්තේ ද ඇතා
මතුගම අසුන ජය ගන්නා ලකුණ ඇතා
පෙර රජවරුන් කාටත් සිටි මඟුල් ඇතා
මුනිඳුගෙ සිරි පතුලෙ මංගල ලකුණ ඇතා
දෙවියන් බුදුන් හට සේවය කරන ඇතා
මතුගම අසුන ජයගන්නා ලකුණ ඇතා
සුරපුර සුර රජුගෙ ඒරාවනා ඇතා
තරු විසිවෙන්ම දළ පහරින් අනින ඇතා
විල්මට් ඒ. පෙරේරා මහතාගෙ ඇතා
මතුගම අසුන ජයගන්නා ලකුණ ඇතා
ඒත් මෙවර ජනාධිපතිවරණයේ කොට්ටේ සිරිකොතේ අලියාත් නැත. ඇතාත් නැත. දැන් එහි ඇත්තේ ගෑස් සිලින්ඩරයකි. ඇතැම් පුවත්පත්වල එය ප්‍රවෘත්තියක් ලෙස පලකර තිබීම විශේෂත්වයකි.
ලංකාවේ පළමු ජනාධිපතිවරණයේදී දිවයින පුවත්පතේ කාටුන් ශිල්පී විජේසෝම ජනාධිපතිවරණ අපේක්ෂකයින් තම ඡන්ද ලකුණු සමඟ නියෝජනය කරමින් සිටින කාටුනයක් ඇඳ තිබේ. එහි ජේ.ආර්., සිරිමා, කොල්වින්, වාසුදේව සිටින අතර තනකොළ බුදින හරකෙකුද සිටී. හරකාගේ බෙල්ලේ ගැටගසා ඇත්තේ සීනුවයි. හරකාගේ මූණට ඇඳ ඇත්තේ රැවුල වවා ‘ගෝල්ෆ්’ තොප්පිය පැලඳ සිටින ජනාධිපතිවරණ අපේක්ෂක රෝහණ විජේවීරය.
කලකට ඉහත ජේ.ආර්.ගේ ඒජාපයට එරෙහිව ආර්. ප්‍රේමදාස පුරවැසි පෙරමුණ නමින් පක්ෂයක් ගොඩනඟන ලදි. පක්ෂයේ සියලු බර ඇදගෙන ගියේ බයිස්කෝප් නළු ගාමිණි ෆොන්සේකා විසිනි. පක්ෂයේ ලකුණ වූයේ ‘බස් රථයයි’ ඉන්පසු 90 දශකයේ අගභාගයේදී සිරිසේන කුරේ සහ ඇහැලියගොඩ මන්ත්‍රී විමල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මේ පක්ෂය නැවතත් ඡන්දයට ඉදිරිපත් වූයෙත් බස් රථයෙන්වීම විශේෂත්වයකි.
මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වන්නේ නිමයෝජනා දුන් ජනාධිපතිවරණ ධුර අපේක්ෂක මොහොමඩ් ඉල්ලියාස් ජනාධිපතිවරණයකට පෙර මියගිය ප්‍රථම ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉතිහාසගත කරමිනි.
1988 විජය ඝාතනයෙන් පසු තම සැමියාගේ දේහය සහිත පෙට්ටිය මත තබා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් නව සංධානයකට අත්සන් තබන ලදි. එහි නාමය වූයේ එක්සත් සමාජවාදී පෙරමුණයි. ඡන්දයට පෙර පැවැති පෝය දින ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සියලු පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලදි. එවකට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රචාරක කටයුතු මෙහෙයවනු ලැබුවේ ඩී. අල්විස් ඇඩ්වටයිසිං ආයතනයයි. එහි හිමිකරු වූයේ ලංකාවේ ප්‍රචාරක ලොවේ දැවැන්තයකු වු JWT (J Waltar Thomson) වැනි ජාත්‍යන්තර ප්‍රචාරක සමාගම්වල මුල් පුටුව පවා හෙබවූ පසු කලෙක කථානායක ධුරයට පවා පත් වූ ආනන්ද තිස්සද අල්විස්ය. ඛනිජ තෙල් සංස්ථාවේ දැන්වීමේ වූයේ අදුරක් දුරලන්නට මැටි පහනක් දල්වන චිත්‍රයකි. එහි මෙසේ සඳහන් විය. අඳුරට සාප කරනවාට වඩා එක පහනක් වත් දැල්වීම වටී. මෙය එවකට පළ වු සියලු රාජ්‍ය හා පෞද්ගලික පුවත්පත් සියල්ලේ පළ වූයේ වෛවර්ණයෙනි. පුවත්පත නිකුත් වු පසු එවකට ආණ්ඩු පක්ෂය වූ යූඇන්පියේ දැඩි විරෝධය දැන්වීමට එල්ල විය. ඊට හේතු වූයේ අලුත් පිහිට වු එක්සත් සමාජවාදි පෙරමුණ ලාංඡනය මැටි පහන වීමය. අන්තිමට මෙම දැන්වීම නිර්මාණය කළ ඛනිජතෙල් සංස්ථාවේ බලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලදි.
මෙවර ඡන්ද ලකුණ ස්වාධීන අපේක්ෂකයින්ට ලබා දෙන විට බොහෝදෙනා අසා සිටියේ ‘කැරට්’ අලය ඡන්ද ලකුණක් ලෙස ලබා දෙන්නේ කුමන ස්වාධීන අපේක්ෂකයාට ද යන බවය.
මෙවර ඡන්දයේ ස්වාධීන අපේක්ෂකයින් අතරින් ගෙදර ගෘහණියට වඩාත් සමීප ‘ලකුණ’ ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටය. ඒ ගෑස් සිලින්ඩරයයි. එතුමාට ඇති වාසිය වන්නේ මුලු ලංකාවේම හැම නගරයකට – ගමකට ගෑස් සිලින්ඩරය ඡන්ද ලකුණ ප්‍රදර්ශනය කොට තිබීමය. කුඩා සිල්ලර කඩයේ සිට සුපර්මාකට්ටුව දක්වා නිල්පාටින් හා කහ පාටින් මෙම ඡන්ද ලකුණ ප්‍රදර්ශනය කොට තිබේ. ඡන්ද කොමසාරිස් මේ ගැන විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ගියහොත් ලංකාවේ සියලු ගෑස් කඩවල ගසා ඇති ගෑස් සිලින්ඩරය සහිත ගෑස් විකිණීමට ඇති බෝඩ් ලෑලි සියල්ල ඉවත්කර හෝ තාර ගා විනාශ කිරීමට සිදුවනු ඇත. මෙවර ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක ලකුණු අතර කෑම වර්ග 2 ක් තිබේ. ඒ අජන්තද සොයිසාගේ අන්නාසි ගෙඩිය හා අනුර සිඩ්නි ජයරත්නගේ කොස් ගෙඩියයි. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සිටින ව්‍යාපාරිකයකු වු ධම්මික පෙරේරාට නියමෙට ගැළපෙන ඡන්ද ලකුණ මෙහි ඇත. එය ව්‍යාපාරිකයින්ට වටිනා මෙවලමක් වූ කැල්කියුලේටරයයි. ඒත් ඉතින් ධම්මික පෙරේරා තම ව්‍යාපාරික ජීවිතය පුරා කළේ එකතු කිරීම හා වැඩි කිරීමයි. ඔහුගේ ව්‍යාපාරික ජීවිතයේ බෙදීමට හා අඩු කිරීම දැක ගැනීම දුර්ලභ දසුනක් විය. මෙවර කැල්කියුලේටරය ලකුණ හිමි වී ඇත්තේ කේ. කේ. පියදාසටය.
මෙවර ක්‍රීඩා උපකරණ ඡන්ද ලකුණු ලෙස තුනක් දැකිය හැකිය. ඒ පාපන්දුව, පදක්කම හා ක්‍රිකට් පිත්තයි. සරත් කීර්තිරත්නගේ ඡන්ද ලකුණ පාපන්දුවයි. ආනන්ද කුලරත්නගේ ඡන්ද ලකුණ පදක්කම වන අතර හිටපු සෙල්ලං ඇමැති රොෂාන් රණසිංහගේ ඡන්ද ලකුණ ක්‍රිකට් පිත්තය. අක්මීමන දයාරත්න හිමි පසුගිය සිකුරාදා රූපවාහිනි නාළිකාවට දේශනා කළේ තමන්ගේ අංකය 1 වන බවත් සියල්ලන්ටම කරුණු කියාදෙන කළුලෑල්ල තමන් වහන්සේගේ ඡන්ද ලකුණ වන බවත්ය. සමඟි ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ලකුණ නොම්මර කරකවන පරණ පහේ ටැලිෆෝන් එකකි. ස්මාට් ෆෝන් ආවට පක්ෂයේ ලකුණ අප්ඩේට් වුණේ නැත. අක්මීමන දයාරත්න හිමියනුත් කොතරම් අලුතින් මැජිබෝඩ් ආවත් උන්වහන්සේගේ මනාපයට වැඩම කරවන ලද්දේ පරණ පුරුදු ‘කළු ලෑල්ලය’ අසු අට ජේවීපී හා රාජ්‍ය භීෂණය මතක් කරන ඡන්ද ලකුණක් මේ අතර තිබේ. එකල තිබුණේ ටැයර් සෑයවල්ය. එම ටයර් සෑයවල ජන්මාන්තර ගත කරන ලද්දේ ජේවිපි සටන්කාමින්ද ඒත් නැතිනම් ජේවීපී විරෝධි හා ආණ්ඩු පාක්ෂිකයින්ද වෙනම කතාවකි. ඒත් අද මෙම ‘ටයර්’ සලකුණ වෙනුවට ජේවීපී නියෝජනය කරන ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර මාලිමාවටත්, ප්‍රේමදාස යුගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස ඉලක්කම් කරකවන ටැලිෆෝනයත් තෝරා ගැනීම හරහා මෙවර ජනාධිපතිවරණයේ ‘ටයරය’ ලකුණ හිමි වූයේ සිරිපාල අමරසිංහටය. තම දේශපාලන දිවියේ අතරමංවී අඳුරේ අතපත ගාන සරත් ෆොන්සේකාට සරදමක් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා ඡන්ද ලකුණ ලෙස ලබාදී ඇත්තේ ලන්තෑරුමයි. එම ලැන්තෑරුම් එළියෙන්වත් ‘ෆොනි’ හරි මඟ සොයාගනු ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා බාගෙදා විශ්වාස කරන්නට ඇත. ඒත් ජනාධිපතිවරණයෙන් පසු තමන්ට ලන්තෑරුම වැනි ඡන්ද ලකුණක් ලබාදීම ගැන උගුඩුවා, උරුලෑව වැනි උපහාර පදවලින් පැසසුන් ලබන්නට මැතිවරණ කොමසාරිස්වරයා වාසනාවන්ත වනු ඇත්දැයි සැක සහිතය.
ලංකාවේ පක්ෂවලට සමහර අය අපහාස කරන්නේ ත්‍රීවීල් පක්ෂ කියාය. ඒ කියන්නේ රියැදුරා හා පසුපස මගින් තිදෙනකු නිසාය. බොහෝ පක්ෂවල ඇත්තේ නායක, සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික පමණි. ඒ අතරින් බලන විට බත්තරමුල්ලේ සුභූති හිමියන් වහන්සේ වාසනාවන්තය. උන් වහන්සේගේ ලංඡනය වූ ට්‍රැක්ටරයේ තියෙන්නේ රියැදුරු අසුන පමණි. ඒත් උන්වහන්සේට ටේලරයේ හැටහුටාමාරක් පක්ෂයේ නිලධාරීන් මෙන්ම පාක්ෂිකයන්ද වැඩමවිය හැකිය. ජනාධිපතිවරණ අපේක්ෂකයින් 6ක් පමණ විවාදයකට කැඳවීම ගැන උන්වහන්සේ තම විරෝධය පහුගියදා මැතිවරණ කාර්යාලයට ගොස් පූජා කරන ලදි.
මේ ජනාධිපතිවරණ සමයේදී ඡන්ද ලකුණු හිමි ජනාධිපතිවරණ අපේක්ෂකයින් අතරින් තමන්ටම හිමි ඡන්ද ලකුණ නමින් පුවත්පතක් හිමි අපේක්ෂකයකු ද සිටී. ඔහු දිලිත් සුසන්ත ජයවීර නොහොත් ‘දෙරණ’ මාධ්‍ය සමූහයේ නිර්මාතෘවරයාය. ඔහු ජනාධිපතිවරණයෙන් තරඟ වදින්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිෂ්ට් පක්ෂයෙනි. පක්ෂය නමින් කොමියුනිෂ්ට් වූවත් ජනාධිපතිවරණ අපේක්ෂකයා ධනවාදී ප්‍රාග්ධන හිමියෙකි. කොමියුනිෂ්ට් පක්ෂයේ ලකුණ ‘තරුව’ ය දිලිප් ජයවීරගේ විශේෂත්වය වන්නේ ඔහුට ‘තරුව’ නමින් පුවත්පතක් හිමි විය. පරහකට ඇත්තෙ එය ජ්‍යොතිෂ පුවත්පතක් වීමය. එහෙත් ජ්‍යොතිෂයෙත් – දේශපාලනයත් අය්යා මල්ලි වගේම බද්ධ වී ඇති දෙකක් බව අමුතුවෙන් කිව යුත්කත් නොවේ යන සටහන අවසන් වශයෙන් තබමි.
වජිර ලියනගේ
0 Comments