ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ධූරයට පත්වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. 1977 දී බලයට පැමිණි එතුමා 1978දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ධුරයට පත්විය. එනිසා ප්‍රථම විධායක ජනාධිතිවරයා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවට අවකාශ සැලසුණේ නැත. වසර හයක කාලයකට බලය ලැබූ එතුමා ජනාධිපති සතු බලතල උපයෝගී කර ගනිමින් වසර හතරකින් ජනාධිපතිවරණයක් කැදවීය. 



මේ වන විට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බලය හරහා ප්‍රධානම ප්‍රතිවාදියා වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි මගින් ජනාධිපති කොට තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවිධ බෙදීම්වලට ලක්වී තිබිණි. පිටියේ වාසිය තමන් සතු අවස්ථාව බව වටහාගත් ජේ.ආර්. මැතිවරණයකින් පත්වන ප්‍රථම ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා අවකාශ සලසන ලදී. මැතිවරණ කොමසාරිස්වරයා විසින් එක්දහස් නවසිය අසූදෙකේ සැප්තැම්බර් මස දොළොස්වන දින නාමයෝජනා කැඳවා අවසන් කරන ලදී. ජනාධිපතිරණය පැවැත්වීම අසු දෙකේ ඔක්තොබර් මස විසි වැනි දින සිදුකරන ලදී.

හැත්තෑ හතේ බලයට පැමිණි එජාප රජය විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් වසර පහක් පමණ ගතවී ඇති නිසා රටෙහි විශාල වෙනස්කම් සිදුවෙමින් පැවති අවදියකි. රජය මහවැලි යෝජනා ක්‍රමය, නිදහස් වෙළෙඳ කලාප, ගම් උදාව වැනි වැඩ සටහන් ආරම්භ කරමින් සංවර්ධන වැඩ සටහන් පිළිබඳව වැඩි බරක් තබා කටයුතු කළ බව පෙනිණි. විපක්ෂය විසින් විධායක ජනාධිපති ක්‍රමයේ අනිටු විපාක, ජේ.ආර්. ජනාධිපතිවරයාගේ ඒධිපති ස්වරූපය, විවෘත ආර්ථිකය නිසා සමාජයේ සිදුවන වෙනස්කම් විවේචනයට බඳුන්කරන ලදී.

රජය රූපවාහිනිය ආරම්භ කර තිබූ අතර, රාජ්‍ය ගුවන් විදුලි සේවය ප්‍රධාන ජනමාධ්‍ය ආයතන විය. සෑම ජනාධිපති අපේක්ෂකයකුටම ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් ජනතාව ඇමතීම සඳහා මුල්ම ලැබුණේ  අවස්ථාව මැතිවරණයේදීය. මැතිවරණයට අපේක්ෂකයන් හය දෙනකු පමණක් ඉදිරිපත්වීම නිසා එකල එය පහසු කටයුත්තක් වන්නට ඇත. ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව, ජනතා විමුක්ති පෙරමුණෙන් රෝහණ විජේවීර, දෙමළ කොන්ග්‍රසයෙන් ජී.ජී. පොන්නම්බලම්, ලංකා සමසමාජ පක්ෂයෙන් කොල්වින් ආර්. ද සිල්වා, ද නව සමසමාජ පක්ෂයෙන් වාසුදේව නානායක්කාර යන මහත්වරු ජනාධිපති අපේක්ෂකයෝ වූහ.




එකල රූපවාහිනිය මෙකල මෙන් සෑම නිවසකම තිබුණු භාණ්ඩයක් නොවීය. මුළු ගමකටම රූපවාහිනී තිබුණේ දහයකට අඩු සංඛයාවකි. ගුවන් විදුලි යන්ත්‍ර ඊට වැඩි සංඛ්‍යාවක් තිබිණි. ගැමියන්ට රූප වාහිනිය  නැරඹීමට අවශ්‍යනම් එවැනි නිවසකට යා යුතු විය. සතියකට එක් වරක් රූපවාහිනියේ චිත්‍රපටයක් පෙන්වනු ලබන දිනවලදී රූපවාහිනී ඇති නිවෙස් ජනයා ගෙන් පිරී ඉතිරි යති.

එක් එක් අපේක්ෂකයා ජනතාව අමතන වේලාව දිනපතා පුවත්පත් මගින් ප්‍රචාරය කිරීමට කටයුතු කොට තිබිණි. ඒ අනුව අපේක්ෂකයන්ගේ කතා ඇසීමට ජනතාව රොක්වූහ. රූපවාහිනී හිමියෝ විටෙක තමන්ගේ අපේක්ෂකයාගේ අවස්ථාවේදී පමණක් රූපවාහිය නැරඹීමට අවස්ථාව සලසා දුන් අතර, ප්‍රතිවාදී අපේක්ෂකයගේ අවස්ථාවලදී රූපවාහිනිය දැමුණු අවස්ථාද අවස්ථාද විය.

රජයෙන් පාසැලට ලබාදුන් රූපවාහිනි යන්ත්‍රය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අමතන අවස්ථාවේ ක්‍රියා විරහිත කොට තැබූ විදුහල්පතිවරයකුට ජනාධිපතිවරණයෙන් පසු දඬුවම් ලැබීමක් ගැන අසන්නට ලැබිණි. ලියුම්කරුගේ නිවසේ කළු සුදු රූපවාහිනියක් තිබූ අතර, පියා සහය දැක්වූ අපේක්ෂකයාගේ කතාව තිබූ දින පැමිණි ඇත්තන්ට විශේෂ තේ පැන් සංග්‍රහයක් පවත්වන්නට යෙදිණි. මේ යුගයේ මෙන් විකාශණය කළ කතා නැවත ඇසීමේ අවස්ථාව එකල නොතිබිණි. එබැවින් තම තමන්ගේ අපේක්ෂකයන්ගේ කතා ඇසීම වෙනුවෙන් කාලය වෙන්කිරීමට ජනතාව පෙළඹිණි. තමන්ගේ අපේක්ෂකයා ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් අමතන අවස්ථාවලදී රතිඤ්ඤා දල්වා අපේක්ෂකයාගේ ශක්තිය පෙන්වන අවස්ථාද එකල සිදුවිය.


ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ කතාවලට අමතරව වැඩි උනන්දුවක් තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක රෝහණ විජේවීර මහතා ගේ කතාව වෙතය. ඒ යුගයේදී පවා රෝහණ විජේවීරයන්ගේ කතාව මනාව සැලසුම් කොට ඉදිරිපත් කළ බව පෙනිණි.

මේ නිසාම ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයාට ලැබුණු ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි බලාපොරොත්තුවක් ජවිපේ වෙතින් දිස්විණි.


අනෙකුත් අපේක්ෂකයන් අතුරින් කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ කතාව ගැන අවධානයක් යොමුවිණි. එයට ප්‍රධානම හේතුව වූයේ රටේ දක්ෂ අධිනීතිඥයකු වූ එතුමා කොබ්බෑකඩුව දිනුවත් පරාදයි යනුවෙන් ගෙන ආ තර්කයයි. ප්‍රජා අයිතිය අහෝසි කොට ඇති නායිකාවක් ඇති පක්ෂයකින් ඉදිරිපත් කොට ඇති කොබ් බ්බෑකඩුව මැතිතුමා ජයග්‍රහණය කළද එය අහෝසි වීමේ නීති තර්ක එතුමා ඉදිරිපත් කළේය.


මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සංඛ්‍යාව අනුව අපේක්ෂකයන්ට රූපවාහිනි හා ගුවන් විදුලි ගුවන් කාලය ලබාදීම ගැටලුවක්වනු ඇත. එසේ ගුවන් කාලය ලබා දුන්නද ජනතාව ඒවා ඇසීම, බැලීම කරයිද යන්න සැක සහිතය.අද වන විට ජංගම දුරකථනයේ ඇති සේවා සම්පූර්ණයෙන්ම ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රවර්ධන කටයතු සඳහා භාවිත කරන යුගයකට එළඹ ඇත. සාවද්‍ය හා නොහික්මුණු පුද්ගලයන් සමාජ මාධ්‍යජාලා හරහා මැතිවරණයකට සිදු කරන දෑ මර්දනය පිළිබඳව කතාකරන අවස්ථාවක් නුදුරේදීම ඇතිවනු නිසැකය.

අරුණ දීප්ති ගුණසිංහ