emil-ranjan-free

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්වයකින් පසු එහි රදවා සිටි සිරකරුවන් පිරිසකට වෙඩි තබා මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණ දඬුවම නියම කර සිටි වැලිකඩ ඛන්ධනාගාරයේ හිටපු අධිකාරී එමිල් රන්ජන් ළමාහේවා මහතා එම චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (08) නියම කළේය.




 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරි තත්වයකින් පසු එහි රඳවා සිටි සිරකරුවන් පිරිසක් වෙඩි තබා මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණ දඬුවම ඉවත දමා සියලු චෝදනා වලින් තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල් රන්ජන් ළමාහේවා මහතා ඉදිරිපත් කළ අභියාචන පිළිගනිමින් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.




ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු, අචල වෙන්ගප්පුලි, ශිරාන් ගුණරත්න, එස්. තුරේරාජා සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් හමුවේ පෙත්සම විභාග කෙරිණි. තමන්ට එරෙහි චෝදනාවන්ට තමන් වරදකරු කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල දුන් තීන්දුව හා තමන්ට මරණ දඬුවම පමුණුවමින් දුන් දඬුවම ඉවත දමා තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල් රන්ජන් ළමාහේවා මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර තිබිණි.




2012 නොවැම්බර් 09 වැනිදා   වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම් වලදී සිරකරුවන් පිරිසක් මරා දැමූ බවට නීතිපතිවරයා විසින් බන්ධනාගාර අධිකාරි හිටපු එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව නමැත්තන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබිණි.ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එමිල් රන්ජන් ළමාහේවා මහතා වරදකරු රමින් ඔහුට මරණ දඬුවම පැනවු විනිසුරු මඩුල්ල විත්තිකාර පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කෙරිණි.

අදාළ චෝදනාවන්ට තමන් වරදකරු කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ තීන්දුවට එරෙහිව එමිල් රන්ජන් ළමාහේවා මහතා ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගයකින් අනතුරුව සෙසු විනිසුරුවරුන්ගේ එකගත්වයෙන් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරු වරදකරු කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කළ තීන්දුව දෝෂ සහිත බව සඳහන් කළේය. ඒ අනුව මහාධිකරණ තීන්දුව ඉවත දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය සියලු චෝදනා වලින් එමිල් රන්ජන් ළමාහේවා මහතා නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.
(මනෝප්‍රිය ගුණසේකර )