evisa-court-order

Online වීසා සේවාව පැවැති ක්‍රමවේදය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරෙන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නව ක්‍රමවේදය ආරම්භ කිරීමට පෙර පැවැති ක්‍රමවේදය යටතේ වීසා සේවා ක්‍රියාත්මක කරන ලෙස ද විනිසුරු මඩුල්ල නියම කළේ ය.



පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන් පරිදි මෙම අතුරු තහනම් නියෝගය ලබා දුන්නේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.

පෙත්සම් අද කැඳ වූ අවස්ථාවේ  පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ එම්.ඒ. සුමන්දිරන් මහතා පුද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිමින් සිය පෙත්සම් වෙනුවෙන් කරුණු දැක්වීම් සිදු කළේ ය.



ගුවන්තොටුපොළ ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත Online වීසා ක්‍රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතුව ඇති බැවින් එම ක්‍රමවේදය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

සංචාරක ව්‍යාපාරය අවදානම් සහගත තත්ත්වයකට මුහුණ පා ඇති බවත් වීසා ගාස්තු ඉතා ඉහළ යන බවත් මේ නිසා මහජනතාවට රජය කෙරෙහි විශ්වාසය බිඳී යන බවත් පෙත්සම්වල සඳහන්ය.



මෙම තත්ත්වය තුළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව පවසන පෙත්සම්කරුවන් පෙත්සම් විභාගයට අවසර ලබා දෙමින් අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මකවීම වළක්වන අතුරු තහනම් නියෝගය නිකුත් කරන්නැයි පෙත්සම්වලින් ඉල්ලා තිබුණි.

මෙම පෙත්සම්වල වගඋත්තකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා, අග්‍රාමාත්‍යවරයා, මහජන ආරක්ෂක අමාත්‍යවරයා, සංචාරක අමාත්‍යවරයා හා අධිකරණ අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව 32ක් නම් කර තිබේ.

පෙත්සම් විභාගය ඔක්තෝබර් 4 වැනි දා සිදු කිරීමට නියමිතයි.