harini-tissa-attanayake

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කළ ප්‍රකාශයක් යැයි කියමින් ආගමික සංහිඳියාවට බාධාවක් වන අයුරින් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කරන ලද ප්‍රකාශයකට අදාළව මන්ත්‍රීවරිය විසින් අත්තනායක මහතා වෙත එන්තරවාසියක් යොමු කර තිබේ. ඒ අනුව එම ව්‍යාජ ප්‍රකාශය ඔස්සේ තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් ඇය රුපියල් මිලියන 100ක මුදලක් ඉල්ලා ඇති අතර, එන්තරවාසියේ සඳහන් දින සිට දින 14ක් ඇතුළත එය ගෙවීමට කටයුතු නොකරන්නේ නම් නඩු පවරන බවද සඳහන් කර ඇත.




තිස්ස අත්තනායක මහතාට මෙන්ම තිස්ස අත්තනායක මහතාගේ ප්‍රකාශය ප්‍රචාරය කරන ලද පෞද්ගලික රූපවාහිනී නාළිකාවකටද තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් මන්ත්‍රීවරිය විසින් එම මුදලම ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ නුවර පෙරහර පැවැත්වීම නවත්වන බවට හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළ බවට නුවර ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ නමක් තමන් සමග පැවසූ බවට තිස්ස අත්තායක මහතා ඉකුත් 19වැනි දින මාවනැල්ල නගරයේ පැවති සමගි ජනබලවේගයේ රැස්වීමකදී කළ ප්‍රකාශයට එරෙහිව ඇය විසින් මෙම එන්තරවාසිය යොමු කර ඇත.

 නවෝද්‍යා පවනි