international-school-teacher-fb

ජාත්‍යන්තර පාසලක 41 හැවිරිදි රූමත් ගුරුවරියකගේ ඡායාරූපය යොදා මුහුණු පොතේ ව්‍යාජව සැකසූ ගිණුමක් හරහා ඇය අබිසරුලියක ලෙස හඳුන්වා සමාජ ගත කළ 19 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන අංශය කියයි.සැකකරු ව්‍යාජව සැකසූ එම ගිණුමේ පරිශීලකයන් 3000 කට ආසන්න ප්‍රමාණයක් සිටින සිටින බවද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.




ඉකුත් මැයි මාසයේ අග භාගයේ සිට තම දුරකතනයට නාඳුනන පුද්ගලයන් විවිධ අයුරින් පහත් යෝජනා කරමින්, මිල ගණන් විමසමින් වස්ඇප් සහ සාමාන්‍ය ඇමතුම් දුන් හෙයින් මෙය කිසියම් පුද්ගලයකු තම චරිතයට අගෞරවයක් වන ලෙස කළ ක්‍රියාවක් බවට සැක කර ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ගුරුවරිය කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.




පැමිණිල්ල අනුව පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නදීකා දිසානායක මහත්මියගේ උපදෙස් මත කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව දෙමටගොඩ ආරාමය පෙදෙසෙදී මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවකු වන සැකකරු අත්අඩංගුවට ගත් බව ගුපාලිසියේ ප්‍රකාශකයෙන් කීය.අත්අඩංගුවට ගත් ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ පෙම්වතිය ගුරුවරියගේ නිවසේ පවත්වාගෙන යන නේවාසිකාගාරයේ රැඳී සිටියදී මුදල් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් පෙම්වතිය නේවාසිකාගාරයෙන් ඉවත් කිරීම හේතුවෙන් ගුරුවරියගෙන් පලිගැනීමේ චේතනාවෙන් ඇයගේ චරිතයට හානි කිරීමට හිතාමතාම ව්‍යාජ  අයුරින් මුහුණු පොතේ ගිණුමක් සාදා මෙලෙස සමාජ ගත කළ බව හෙළිකර ඇතැයි කියති.




පැමිණිලිකාර ගුරුවරියට අමතරව එම ගිණුමේ අභ්‍යන්තරයේ රූමත් කාන්තාවන්ගේ ඡායාරූප පළකර ලිංගික සේවා ලබාදිය හැකි බවට ප්‍රචාර කර ඒ ඔස්සේ පුද්ගලයන් රැවටීමට ලක්කර මුදල් ඉපයීමේ ජාවාරමක්ද සැකකරු කාලයක සිට කර ඇතැයි ද අනාවරණය වී යැයි පොලිසිය කියයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නදීකා දිසානායක මහත්මියගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ උපපොලිස් පරීක්ෂක ඉසුරු ගුණතිලක මහතා විසිනි.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)