කහවත්ත ඇන්දාන නගරයේදී පසුගිය දා ප්රකෝපකාරී ලෙස හැසිරුණු එළදෙන ඉකුත් දා රාත්‍රී (12) හදිසියේම මියගොස් ඇති අතර, ඇයට ජලභීතිකා රෝගය වැළඳී ඇත්දැයි සැක සහිත බව කහවත්ත පශු වෛද්‍ය නිලධාරි කමනිකා සේනානායක පවසයි.කෝපයට පත්ව සිටි එළදෙනගෙන් පසුගිය 11 වැනිදා පහරකෑ පුද්ගලයන්ගෙන් එක් කාන්තාවක කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
පසුව 11 වැනිදා සවස කහවත්ත ප්‍රාදේශීය සභාව, ඇන්දාන පොලිසිය සහ ප්‍රදේශයේ ජනතාව එක්ව කලබලයට පත්ව සිටි එළදෙන අල්ලා ගැනීමට කටයුතු කර ඇත. පසුව එම වැස්සිය එදින රාත්‍රියේම මියගොස් ඇත.පශු වෛද්‍ය නිලධාරිවරිය පවසන්නේ, එළදෙන පසුගිය දිනවල හැසිරුණු ආකාරය නිරීක්ෂණය කිරීමේදී සහ ශරීර ලක්ෂණ අනුව සියයට හැත්තෑවක් අසූවක්ම ජලභීතිකා රෝගය වැළඳී සිටින්නට ඇති බව නිගමනය කළ හැකි බවයි.
“මහමග ඇවිදින බල්ලන් වැනි සතුන්ට ද මෙම එළදෙන පහරදීමට උත්සාහ කර තිබෙනවා.එළදෙන මියගොස් පැය දොළහක් ඉක්ම ගොස් තිබූ නිසා සෞඛ්‍ය නිර්දේශ මත මියගිය සතාගේ හිස ආරක්ෂිතව පරීක්ෂණ සඳහා යොමු කිරීමට නොහැකි වුණා.
ඒ නිසා දැනට අයාලේ ඇවිදින ගවයින්ගේ හා මියගිය සතා ස්පර්ශ වූ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සඳහා ජලභීතිකා එන්නත් ලබා දීමට සිදු වෙනවා."
මඩලගම ප්‍රදේශයේ කළ අධ්‍යයනයකදී දැනගන්නට ලැබී ඇත්තේ, පසුගිය මාසයේ ජලභීතිකා රෝගය වැළඳුණු සුනඛයකු සැරිසරා ඇති බවත්, එම සුනඛයා නිවෙස්වලට පැන එක් පුද්ගලයකු සපා කා ඇති බැවින් මෙම එළදෙන ද සපා කන්නට ඇති බවට සැක කළ හැකි බවත් ඇය පවසයි.මේ සම්බන්ධයෙන් ඇන්දාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.එච්.ජේ. මධුෂාන් මහතා සඳහන් කළේ, මියගිය එළදෙනගේ සිරුර ආරක්ෂිතව භූමදානය කළ බවයි. ඒ සමගම පහරකෑමට ලක් වූ පුද්ගලයන් හය දෙනා කහවත්ත මූලික රෝහල මගින් ජලභීතිකා එන්නත ලබා ගැනීම සඳහා යොමු කරන බවත්, ඇන්දාන ප්‍රදේශයේ රැඳී සිටින අයාලේ ඇවිදින සුනඛයන් ඉදිරි දිනවලදී එන්නත් කිරීමේ වැඩසටහනක් ද කඩිනමින් ක්‍රියාත්මක කරන බවත්ය.
(තුෂාර හෙට්ටිආරච්චි)
0 Comments