kalpitiya-incident

නාවික හමුදාව කල්පිටිය තොරයඩි කලපුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් එම කලපුවේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං කිලෝ 04යි ග්‍රෑම් 740ක් අඩංගු ඇසුරුමක් සොයාගෙන තිබේ. නාවික හමුදා භාරයට ගත් එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක්ද තොරයඩි වෙරළ ප්‍රදේශයේ තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.




මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීතිවිරෝධී කටයුතු මැඬපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි

නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබන බවද නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.ඒ අනුව වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් පෙරේදා (06දා) මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ.




නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව නිසා, ජාවාරම්කරුවන් විසින් මෙම රත්‍රං අඩංගු ඇසුරුම පසුව රැගෙන යාමේ අපේක්‍ෂාවෙන් මෙලෙස තොරයඩ් කලපුවේ ගිල්වා තබන්නට ඇතැයි සැක කරන බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි. මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් රත්‍රං කිලෝ 04යි ග්‍රෑම් 740ක තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ

කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.
(ඉන්දික හේවාවිතාරණ)