කැකිරාව, මොරගොඩ පොලිස් බල ප්‍රදේශයේ කලුඑබේ රජයේ වන රක්ෂිතයේ ගල් දෙබොක්කාවක් අතර නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකරමින් සිටි හතළිස් හැවිරිදි චීවරධාරියකු ඇතුළු සැකකරුවන් අට දෙනෙක් මොරගොඩ පොලිසිය විසින් ඊයේ (20දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
මොරගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. සංජීව පියසේන මහතාට ලද තොරතුරකට අනුව ස්ථානාධිපතිවරයා ඇතුළු එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී ඊයේ (20දා) අලුයම 3.45ට පමණ එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
එම වැටලීමේදී නිදන් හෑරීමට පෙර පූජා පැවැත්වීමට රැගෙනවිත් තිබූ පූජා භාණ්ඩ, කැණීම් උපකරණ ස්කෑනර් යන්ත්‍රයක්ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ. මේ අතර එම සැකකරුවන් එහි පැමිණි වෑන් රථයක් සහ මෝටර් රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිසිය අදාළ ස්ථානය වටලන අවස්ථාව වන විටත් නිදන් කොල්ලකරුවන් විසින් එම ගල් දෙබොක්කාව තුළ අඩි දෙකහමාරක් පමණ ගැඹුරට කැණීම් කටයුතු සිදුකොට තිබූ බව පොලිසිය පවසයි.
එහීදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි චීවරධාරියා කළුඑබේ ප්‍රදේශයේ පුරාණ ආරණ්‍ය සේනාසනයක වැඩවසන අයකු බවත් ඔහුගේ අනුදැනුම මත එහි නිදන් හෑරීම සිදුකොට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ ස්ථානය වැටලීම සිදුකළ අවස්ථාවේ පලාගොස් සැඟ වී සිට ඇති අසූ තුන් හැවිරිදි වියෙහි පසුවන කට්ට¾ඩියා පසුව ඊයේ (20දා) පෙරවරුවේ එම ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු පොළොව මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. සෙසු සැකකරුවන් අවුරුදු විසි තුනත් හැටත් අතර වයසේ පසුවන අය වෙති. ඔවුන් අගලවත්ත, ආඩියගල, නෑගම්පහ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ. එම සැකකරුවන් ඊයේ (20දා) කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අනුරාධපුර – පර්සි කුරුනේරු
0 Comments