kapila-wicremanayake-cid

වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා බාල බෙහෙත් නඩුව සම්බන්ධයෙන් විමර්ශනය කළ රහස් පොලිස් නිලධාරීන් නොමඟ යවා ඇතැයි නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට ඊයේ (29) දැනුම් දුන්නේය. ඖෂධවල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමේ නීතිගත සංස්ථාව ඉවත් කිරීමෙන් පසු පරීක්‍ෂා කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීම නිසා රට තුළට බාල ඖෂධ ගෙන්වීමට හැකියාව ලැබුණු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය මේ තත්වය නිසා ස්නායු රෝගීන් සහ පිළිකා රෝගීන්ගේ ජීවීත අනාරක්‍ෂිත භාවයට පත් වූ බවත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ සැපයුම් ආයතන 25ක් විසින් ඖෂධ වර්ග 285ක් ලංකාවට සපයනු ලැබ ඇතත් නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ සපයා ඇත්තේ ඉන් සැපයුම්කරුවන් දෙදෙනකු පමණක් බවත් හෙළි කළාය.



ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිත කරන ‘රිටොක්සිමැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කළැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටින බාල ඖෂධ ගෙන් වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය.

හිතෙෂීන්ගෙන් වෙන්කර දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔහු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීම නිසා ඔහු මානසික ව්‍යාධී තත්වයකට පත්ව ඇති බව පෙන්වා දෙමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගිහාන් රණවක මහතා දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.


බාල ඖෂධ ගෙන් වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්න කුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත වී), සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී) සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නමැත්තන් සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම්කර ඇත.




පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හැර ඇප නියම කර ඇති සැකකරුවන් ඇතුළු සියලු සැකකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘හියුමන් ඉමියුනෝග්ලෝබින්" නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකමුතුව' කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල සහ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි යන මහත්වරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.


නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා පූර්ණ අබාධිත තත්වයට හෝ අංගවිකල තත්වයට පත්වීමේ දැඩි අවදානමක් ඇති බවත් එවැනි තත්වයකට පත් වූ පසු තම සේවාදායකයාට ඇප දුන්නත් ඉන් පලක් නැතැයි පැවසීය. තම සේවාදායකයාගේ රෝගී තත්වයන්ට බන්ධනාගාර රෝහලේ හෝ රජයේ රෝහලක ප්‍රතිකාර නැතැයි ද රෝගී තත්වයන්ගෙන් සුවයක් ලැබීමට නම් ඔහු දීර්ඝ කාලයක් ප්‍රතිකාර ගත් රෝහලකින්ම ඔහුට ප්‍රතිකාර අවශ්‍ය යැයි ද කී ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මේ තත්වය යටතේ තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් නියෝජ්‍ය ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ඊට විරුද්ධත්වය දක්වමින් සැකකරුගේ රෝගී තත්වයන් සඳහා පූර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඔහු යොමු කර වාර්තා කැඳවා ඇතැයි ද එම වාර්තා සැලකිල්ලට ගැනීමෙන් පසු සැකකරුට ඇප ඉල්ලීම පිළිබඳ සලකා බැලීමට හැකියාව ඇතැයි ද කීවාය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් වෙත කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා යොමු කර ඇති නමුත් ඔහුගේ අක්‍ෂි හා විකලාංග රෝගී තත්වයන් සම්බන්ධයෙන් විශේෂඥතාව දක්වන විශේෂඥ වෛද්‍යවරුන්ද එම වෛද්‍ය මණ්ඩලයට ඇතුළත් කර ඔහු සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් කඩිනමින් කැඳවීමට නියම කළාය.


පළමු සැකකාර බාල ඖෂධ ගෙන් වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගිහාන් රණවක මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයා දරුණු මානසික ව්‍යාධි තත්වයකට පත්ව ඇති බවත් බන්ධනාගාරය තුළ දී සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවත් කීය.

සිය හිතෛෂීන්ගෙන් වෙන්කර දීර්ඝ කාලයක් ඔහු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීම නිසා මෙම තත්වයට පත්ව ඇතැයි පෙන්වා දුන් නීතිඥ ගිහාන් රණවක මහතා තම සේවාදායකයා නොමැතිව මෙම නඩුව ගෙන යෑමට හැකියාවක් නැති හෙයින් තම සේවාදායකයා සුදුසු ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මෙනෙවිය ඊට විරුද්ධත්වය දක්වමින් අපරාධයකට අදාළව යමකු රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබුවහොත් ඔහු ඉච්ඡාභංගත්වයට පත්වීම සාමාන්‍ය තත්වයක් යැයි පෙන්වා දුන්නාය.ඒ අවස්ථාවේ දී සැකකරුවන් ගෙන පැමිණි බන්ධනාගාර නිලධාරියකු ඇමතූ මහේස්ත්‍රාත්වරිය වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින සැකකරුවකු මෙම සැකකරුගේ තත්වයකට පත්වුවහොත් ඔහු රඳවා තබන යම් තැනක් ඇද්දැයි විමසුවාය.


‘අංගොඩ’ යැයි ඊට පිළිතුරු දෙමින් බන්ධනාගර නිලධාරීවරයා පැවසීය.




ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුද අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රඳවා තැබීමට නියම කළාය.සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මෙම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම්කර ඇති වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා බාල බෙහෙත් නඩුව සම්බන්ධයෙන් විමර්ශනය කළ රහස් පොලිස් නිලධාරීන් නොමඟ යවා ඇතැයි කීවාය.


අප රටට ගෙන්වන ඖෂධවල ප්‍රමිතිය පරීක්‍ෂා කරනු ලැබුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් බවත් ඔවුන් ඖෂධවල ප්‍රමිතිය පරීක්‍ෂා කළ පසු නිකුත් කරනු ලබන ඡායාස්ථ පිටපත මත අදාළ ඖෂධ වෛද්‍ය සැපයුම් අංශය බාරගනු ලබන බවත් කී ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සිද්ධියට අදාළව වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාගෙන් 2022 ඔක්තෝබර් 25 වැනිදා රහස් පොලිස් නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගත් අවස්ථාවේදී පළමු සැකකරුගේ අයිතිය අත්හැරීමේ ලිපි දෙක නිසා වෛද්‍ය සැපයුම් අංශය රැවටීමට ලක් වූ බව ඔහු පවසා ඇතැයි කීවාය.


තොග පාලන නිලධරීන් විසින් ඡායාස්ථ පිටපත් මත ඖෂධ බාර ගැනීම නිසා මෙම ප්‍රශ්නයට මැදිවූ බව ඔහු කී කරුණු අනුව රහස් පොලිස් නිලධාරීන් විමර්ශන කිරීමේදී ඔහු පවසා ඇති කරුණු අසත්‍ය බව හෙළි වූවේ යැයි කී ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ලංකාවට ඖෂධ සපයා ගන්නා ක්‍රම 04ක් ඇතැයිද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින්, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්, පරිත්‍යාග මගින් සහ දේශීය සැපයුම්කරුවන් මගින් අදාළ ඖෂධ සපයා ගන්නේ යැයිද කීවාය.


ඡායාස්ථ පිටපත් මගින් ඖෂධ බාරගන්නා බවට සැකකරු කළ ප්‍රකාශය අනුව විමර්ශන කළ රහස් පොලිස් නිලධාරීන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදාළ ඖෂධ පරීක්‍ෂා කර එම ඖෂධවල ගුණාත්මක භාවය තහවුරු කරගත් පසුව සහ අයිතිය අත්හැරීමේ සහතිකය ඉදිරිපත් කළ පසුව අදාළ ඡායාස්ථ පිටපත් නිකුත් කරන බව හෙළිකරගෙන අතැයි කී ලක්මිණි ගිරිහාගම මෙනෙවිය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බාධකයක් ලෙස කටයුතු කිරීම නිසා රට තුළට බාල බෙහෙත් පැමිණීමට හැකියාවක් නොතිබූ බවත් මේ පිළිබඳ මනා දැනීමක් තිබූ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා මේ කරුණු කිසිවක් රහස් පොලිසියට හෙළි කර නැති බවත් කීවාය.




මහේස්ත්‍රාත්වරිය - මේ ක්‍රමවේදය ආරම්භ වුණේ කොයි කාලේද?

 

ලක්මිණි ගිරිහාගම මෙනෙවිය - මුල පටන්ම.


සැපයුම්කරුවන් සපයන ඖෂධවල ගුණාත්මකභාවය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් පරීක්ෂාවට ලක් කිරීම නිසා රජයේ රෝහල්වලට බාල ඖෂධ සැපයීමට හැකියාවක් නොතිබූ බව පෙන්වා දුන් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ඖෂධ සැපයීමේ ක්‍රමවේදයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉවත් කළ පසු ඖෂධවල ගුණාත්මකභාවය පරීක්‍ෂා කිරීමේ ක්‍රම වේදයක් ඔවුන් සකස් කළේ නැතැයිද එහෙයින් මෙම තත්වය උද්ගත වූයේ යැයිද පෙන්වා දුන්නාය.

මෙම කරුණු පැහැදිලිව රහස් පොලිසියට කීමට වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක නමැත්තාට හැකියාව තිබුණත් ඔහු එසේ කර නැතැයි කී ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන්නේ යැයිද කීවාය.


ඖෂධ පරීක්‍ෂා කිරීමේ කටයුතුවලින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉවත් කිරීමෙන් පසු ඖෂධවල ගුණාත්මකභාවය පරීක්‍ෂා කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීම නිසා රට තුළට බාල ඖෂධ ගෙන්වීමට හැකියාව ලැබී ඇතැයිද මේ තත්වය නිසා ස්නායු රෝගීන් සහ පිළිකා රෝගීන්ගේ ජීවිත අනාරක්‍ෂිත භාවයට පත් වූ බවත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ සැපයුම් ආයතන 25ක් විසින් ඖෂධ වර්ග 285ක් ලංකාවට සපයා ඇතත් නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ සපයා ඇත්තේ ඉන් සැපයුම්කරුවන් දෙදෙනකු පමණක් බවත් හෙළි කළාය.


කරුණු සලකා බැලීමෙන් පසු අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය රිමාන්ඩ් බාරයට පත් කළ සැකකරුවන් සිවුදෙනා ලබන මස 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කළාය. මෙම පැමිණිල්ල යළි කැඳවනු ලබන නොවැම්බර් 11 වැනිදා සෙසු සැකකරුවන්ට අධිකරණයේ පෙනී සිටීමට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළාය.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උපපොලිස් පරීක්‍ෂක ලක්සිරි සැරයන්වරුන් වන 35124 ප්‍රනාන්දු, 61823 මනෝජ් සමඟ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා පෙනී සිටියේය. නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අසේල විජේසිංහ සහ ගංගානි උක්වත්ත මහත්ම මහත්මීන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය පෙනී සිටියාය"


සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සරත් ජයමාන්න, ප්‍රියන්ත නාවාන, අනුජ ප්‍රේමරත්න, නීතිඥවරුන් වන චමින්ද අතුකෝරල, අමිත ආරියරත්න, ගිහාන් රණවක, දම්මික රත්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
 (මනෝප්‍රිය ගුණසේකර)