kegalle-incident

අනියම් බිරිඳගේ දරුවන් තිදෙනාට හිංසාකළ පුරුෂයකු ලබන 09 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉකුත් 05 දා කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ දීවෙල, මැදගම ප්‍රදේශයේ අවුරුදු 39ක් පමණ පුද්ගලයෙකි.



දීවෙල, මැදගම ප්‍රදේශයේ සැමියා හැරගිය කාන්තාවක සමග මෙම සැකකරු ජීවත්ව සිට ඇති අතර එහිදී බිරිඳ හැරගිය සැමියාට දාව දරුවන් තිදෙනකු සිට ඇත. අනියම් සැමියා දරුවන්ට හා මවට හිංසා කරන නිසා 12 හැවිරිදි පිරිමි දරුවා ඔහුගේ පියා ජීවත් වන තුංතොට ප්‍රදේශයට ගොස් ඇත.



එහිදී අවුරුදු තුනහමාරක් වන නිවුන් පිරිමි දරුවන්ට අනියම් සැමියා විසින් හිංසාකරන බවට දරුවන්ගෙන් ලැබුණු තොරතුරක් මත පියා විසින් කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. ඒ අනුව සැකකරු ඉකුත් 04 දා දීවෙල, මැදගම අනියම් බිරිඳගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී දරුවන් කෑගල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබේ. එහි දී එක් දරුවකුගේ පිට රත්කළ ඇලුමිනියම් හැන්දකින් පුළුස්සා ඇති බව තහවුරු වී තිබේ. මෙම සිද්ධීන් සැකකරු විසින් ඉකුත් මැයි මස 30 දා හා ජුලි මස 10 දා අතර සිදුකර ඇති බවට සැක කෙරේ.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය