ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නීතිඥ වෘත්තිය අත්හිටුවා සිටින නීතිඥවරියකට අවසරයකින් තොරව මෙරටින් පිටවීම තහනම් කළේය.ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ මෙම විත්තිකාර නීතිඥවරියට එරෙහිව ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවය.
මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයි රාජා, ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විත්තිකාරිය නීතිඥ වෘත්තියේ කටයුතු කිරීම අත්හිටුවා සිටියදී සේවාදායකයන්ට උපදෙස් දී මුදල් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලබූ අවස්ථාවේදී මේ සිද්ධිය සම්බන්ධ චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් අරවින්ද ගුණරත්න මහතා විසින් විවෘත අධිකරණය හමුවේ කියවා පැහැදිලි කරන ලදී. ඒ අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව ඇය හැඟීම්බරව කියා සිටියාය.
ඒ අවස්ථාවේ අධිකරණය ඇමතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා කියා සිටියේ තමන් කර ඇත්තේ ඉතා බරපතළ වරදක් බවත් එය නව අධිකරණ අපහාස පනතේ විධිවිධාන අනුව තමන් රිමාන්ඩ් භාරයට පත් කළ යුතු වරදක් සිදුකර ඇති බවත් යැයි කියා සිටියේ ය. විත්තිකාරිය අධිකරණය අමතමින් කියා සිටියේ තමන්ට නොතාරිස් ධුරයේ කටයුතු කළ හැකි බැවින් තමන් ඒ සඳහා මුදල් ලබාගත් බවත් අසත්‍ය පැමිණිල්ලක් බවත්ය.
කැකිරාවේ නීතිඥ සංගමයේ නිලධාරියෙක් තමන් සමග අමනාපව සිටින නිසා මෙය පළිගැනීමක් බවත් විත්තිකාරිය අධිකරණයට දැනුම් දුන්නේය.ඇය තවදුරටත් කියා සිටියේ තමන් පිළිකා රෝගයෙන් පෙළෙන බවත් තමන් මේ වරද සිදු කර නොමැති බවත්ය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා කියා සිටියේ තමන් සිටින තත්ත්වය සානුකම්පිතව සලකා බලා අවසරයකින් තොරව තමාට රටින් පිටවීම තහනම් කරන බවත්ය.
මෙම සිද්ධිය සම්බන්ධ අදාළ වීඩියෝ පටය ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයාට ලැබී ඇති බවත් අවශ්‍ය නම් ඒ සම්බන්ධ තොරතුරු රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබාගත හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.
තමන් වෙනුවෙන් නීතිඥ සහාය ලබාගන්නා ලෙසද විත්තිකාරිය අධිකරණයට දැනුම් දෙනු ලැබිණි. මෙම පැමිණිල්ල සැප්තැම්බර් 27 වැනි දින යළි කැඳවන ලෙසට නියෝග කෙරිණ. නඩු ගොනුවක තිබූ ලිපියක් කටින් ඉරා විනාශ කිරීම සම්බන්ධයෙන් විත්තිකාර ආර්. ආරියරත්න මහත්මිය නීතිඥවරියක් වශයෙන් කටයුතු කිරීම අධිකරණයෙන් අත්හිටුවා තිබිණි.
විත්තිකාරිය නීතිඥ භාවය අත්හිටුවා තිබියදී පසුගිය මාර්තු 25 වෙනි දින තම කාර්යාලයේදී උපදෙස් ලබා දීම මුදල් ලබා ගැනීම සම්බන්ධ පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිරණයට ඉදිරිපත් කර ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ පටයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොනුකොට ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එස්.එස්. සහබන්දු මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියේය. විත්තිකාරිය අධිකරණය හමුවේ මෙම කරුණු දැක්වීය.
රන්ජන් කටුගම්පොළ
0 Comments