"මම ඇවිත් බලන විට ලෙයින් තෙත් වුණු පාසල් ඇඳුමින් යුතු කුඩා දැරියක් ලේ ගලමින් බෝක්කුව අස්සේ උඩුබැලි අතට පොත් බෑගය සමඟ වැටී සිටියා. ඒ අසලම ලේ ගලන තුවාල සහිතව පිරිමි ළමයෙක් ද වැටී සිටියා. පාර අද්දර පණ ගන්වන ලද යතුරුපැදියක් පෙරළී ගොස් තිබුණා..." යැයි මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ නිකවැරටිය කොබෙයිගනේ ජාතික පාසලේ අටවැනි ශ්‍රේණියේ මනාෂා හංසනී දිසානායක දැරියගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පහළ බලදොර, සමන්ත දිසානායක (46) මහතා පැවසීය.
පාසල නිම වී අමතර පන්තියකටද සහභාගි වී තම සහෝදරයාද සමඟ යතුරුපැදියකින් ආපසු නිවෙසට යමින් සිටියදී නිවස ආසන්නයේ පිහිටි වංගුවේදී වේගය පාලනය කරගත නොහැකිව ,යතුරුපැදිය පෙරළී සිදු වූ අනතුරින් මියගිය දොළොස් හැවිරිදි මේ සිසුවියගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි දීම ඉකුත් 13 වැනිදා නිකවැරටිය හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ සිදු විය.
මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් සමන්ත දිසානායක මහතා මෙසේ ද පැවසීය:
"සවස මම නිවෙසේ ඉන්න කොට බෝම්බයක් පුපුරනවා වගේ ලොකු සද්දයක් ඇහුණා. මම පාරට ගොස් බලන විට ලෙයින් තෙත්වූ පාසල් නිල ඇඳුමින් බෝක්කුව අස්සේ පොත් බෑගය සමඟ උඩුබැලි අතට වැටී සිටි දැරිය අපේම ඥාතියකු වන මනාෂා දුව කියලා හඳුනාගත්තා. එතනම තුවාල සහිතව වැටී සිටි පිරිමි ළමයා මනාෂා දුවගේ අයියා වන නතීෂ පුතා බවත් මා හඳුනාගත්තා. පසුව මම ලේ ගලමින් වැටී සිටි මනාෂා දුව සහ නතීෂ පුතා ඔසවාගෙනැවිත් පාරෙන් තිබ්බා. මනීෂා දුව කෙඳිරිගෑවේවත් නෑ. නතීෂ පුතා කෙඳිරි ගාමින් සිටියා. එවිටම අසල්වැසි පවුල්වල අය ද එතැනට දුවගෙන ආවා. පසුව ලොරි රථයකින් ඔවුන් රෝහලට රැගෙන යෑමට කටයුතු කළා."
මියගිය දැරියගේ මව වන ශ්‍යාමා මාලනී (40) යන අය සාක්ෂි දෙමින් මෙසේ පැවසුවාය:
"මම සවස අතදරුවා සමඟ නිවෙසේ ඉන්න විට යතුරුපැදියකින් ආ හඳුනන අයකු කීවා දුවයි පුතයි අනතුරකට ලක් වෙලා කියලා. මම ඔහු සමඟම කොබෙයිගනේ රෝහලට ගියා. ඒ යන විට පාසල් නිල ඇඳුමෙන් ලෙයින් තෙත් වුණ මගේ දුව සහ ලේ ගලන තුවාල සහිතව පුතා බට්ටා ලොරිය ඇතුළේ හිටියා. නිකවැරටිය රෝහලට රැගෙන යන ලෙස කොබෙයිගනේ රෝහලෙන් කියා තිබූ නිසා අපි වහා එම ලොරියෙන්ම දුවයි පුතයි නිකවැරටිය මූලික රෝහලට රැගෙන ආවා. එහි හදිසි ප්‍රතිකාර ඒකකයේදී වෛද්‍යවරුන් දුව බේරාගන්න ලොකු උත්සාහයක් ගත්තා. පසුව දුව මියගොස් ඇති බව කීවා. පුතාට මූලික ප්‍රතිකාර දී, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අංක 10 වාට්ටුවට දැම්මා. "
අනතුරින් තුවාල ලබා, නිකවැරටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින, මියගිය දැරියගේ සහෝදරයා වන, කොබෙයිගනේ ජාතික පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නතීෂ ඉඳුවර දිසානායක (16) යන අයද, අනතුරට ලක් වූ දරුවන් දෙදෙනා තම ලොරි රථයෙන් රෝහලට රැගෙන ආ අසල්වැසියා ද සාක්ෂි දුන්නේය. මියගිය දැරියගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ නිකවැරටිය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ.එම්.පී.පී.අබේකෝන් මහත්මිය මෙය මොට පෘෂ්ඨයක් මත හිස ගැටීමෙන් හිසට වූ බරපතළ හානි හා බහුවිධ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බවට සඳහන් කළේය. ලැබුණු සාක්ෂි හා වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගත් නිකවැරටිය කොට්ඨාසය භාර හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ද එය සනාථ කළේය. කොබෙයිගනේ පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපති (උ.පො.ප) ආර්.එම්.එන්.ඩී.බී. රත්නායක මහතා සාක්ෂි මෙහෙයවීය.
(නිකවැරටිය - ගයන්දි පමෝධා)
0 Comments