kothalawala-university

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට කෙඩෙට් නොවන නවක සිවිල් සිසුන් බඳවා ගැනීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙනම ඊයේ (31) නිෂ්ප්‍රභ කළේය.නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව මෙම පෙත්සම නිෂ්ප්‍රභ කෙරිණි.


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමත්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, මහාචාර්ය සුමති සිවමෝහන්, මහාචාර්ය ශාමලා කුමාර් යන මහත්වරු මෙම පෙත්සම් ගොනු කළහ. ජනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, එහි කුලපති, විශ්‍රාමික ජනරාල් ජී.එච්. ද සිල්වා, එහි කළමනාකරණ මණ්ඩලයේ සභාපති, විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.



වසර පහක වෛද්‍ය විද්‍යා සහ ශල්‍ය වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සුදුසුකම් සහිත සිවිල් සිසුන්ගෙන් අයැදුම්පත් කැඳවීම ඉකුත් අප්‍රේල් මස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් සිදු කර ඇති බව පෙත්සම්කරුවෝ සඳහන් කර සිටියහ.කෙඩෙට් නොවන සිවිල් සිසුන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම, ඔවුන්ට අධ්‍යාපනය ලබා දීම, පුහුණුව ලබා දීම යනාදිය එම විශ්වවිද්‍යාල පනතේ 4 වැනි වගන්තියට පටහැනි බව පෙත්සම්කරුවෝ කියා සිටිති. මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ධර්මවර්ධන මහතා, පෙත්සමට එරෙහිව මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කළේය.

මෙම පෙත්සම මගින් අධිකරණයට කරුණු වසන් කර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.මෙම පෙත්සම මගින් මතු කරන නීතිමය කරුණ සම්බන්ධයෙන් මීට වසරකට පෙර අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇති බවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය එම පෙත්සමට මැදිහත් වූ බවත් සඳහන් කළේය.මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති පෙත්සම්කරුවන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් වන බැවින්, එම නඩුව පිළිබඳව දැන නොසිටීමට කිසිදු බාධාවක් නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. අභියාචනාධිකරණය එම පෙත්සම ඉවත දැමූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.



අදාළ පෙත්සම ඉවත දැමීම සම්බන්ධයෙන් පුවත්පතක පළ වූ නඩු වාර්තාවක් ද අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයේ අවධානයට යොමු කළේය.එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම මගින් කරුණු ඉදිරිපත් කර නැති බව ධර්මවර්ධන මහතා පෙන්වා දුන්නේය.එසේම, මෙම පෙත්සම මගින් කැබිනට් මණ්ඩලය, අදාළ පාඨමාලා සඳහා ලියාපදිංචි කළ සිසුන් ඇතුළු අත්‍යවශ්‍ය පාර්ශ්ව වගඋත්තරකරුවන් ලෙස නම් කර නැති බව ද සඳහන් කළේය.එසේම, මෙම සිවිල් සිසුන් මුදල් අය කර එම විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමට ගනු ලැබූ කැබිනට් මණ්ඩල තීරණයක් වක්‍රාකාරයෙන් අභියෝගයට ලක් කිරීමට පෙත්සම්කරුවන් උත්සාහ කරන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

එහිදී විනිසුරු මඬුල්ල මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අතිරේක අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ, මේ වන විට මෙම උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිසුන් 126 දෙනකු තෝරාගෙන ඇති බවය.

එහිදී විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ප්‍රශ්න කර සිටියේ, මෙම සිසුන් එකසිය විසි හය දෙනා විදේශීය විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය සඳහා යොමු කළහොත්, රුපියල් බිලියන කීයක මුදලක් විදේශ රටවල් සඳහා ගෙවිය යුතු ද යන්නය.නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කළ කරුණු පිළිගත් විනිසුරු මඬුල්ල, පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අර්මිසා ටීගල් සමග ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටියේය.වග උත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ ෂබ්රිනා අහමඩ්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා පෙනී සිටියහ.

(රන්ජන් කටුගම්පොළ)