වාහන අමතර කොටස් අලෙවිසලකට අන්තර්ජාලය හරහා මිලදීගෙන තිබූ විදුලි ලාම්පුවක් වෙනුවෙන් ගෙවීමට නියමිතව තිබූ මුදල නොගෙවීම සම්බන්ධයෙන් උරණ වී, ඊට පළිගැනීමක් ලෙස එම ගබඩාව කඩා රුපියල් ලක්ෂ නවයක් වටිනා වාහන අමතර කොටස් තොගයක් සොරාගෙන පලාගොස් සැඟව සිටි තිදෙනකු එම භාණ්ඩ ද සමග පැය විසිහතරක් යන්නට මත්තෙන් අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොල්ගම්පල ප්‍රදේශයේ පදිංචි 21, 28 සහ 30 වයසේ පසු වන තිදෙනකු බව පොලිසිය කියයි. කොට්ටාව පොලිස් වසමේ පිහිටි වාහන අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානයකට අවශ්‍යව තිබූ රුපියල් 1,20,000ක් වටිනා විදුලි ලාම්පුවක් අන්තර්ජාලය හරහා ඇනවුම් කර තිබූ අතර, ඒ සඳහා ගෙවීමට නියමිතව තිබූ මුදලෙන් රුපියල් 40,000ක් අත්තිකාරම් මුදලක් ලෙස ගෙවා, විදුලි ලාම්පුව ලබා ගෙන තිබුණි.
ඊට අදාළ ඉතිරි රුපියල් 80,000ක මුදල ගෙවා දමන ලෙස අවස්ථා කිහිපයකදී දන්වා ඇතත්, ඊට යහපත් ප්‍රතිචාරයක් නොමැති නිසා දෙදෙනා අතර බහින් බස් වීම් ද සිදුව ඇති බවත්, මුදල් නොගෙවන්නේ නම් අලෙවිසල කඩා භාණ්ඩ රැගෙන යන බවට ද ඔවුන් තර්ජනය කර තිබූ බවත් පොලිසිය පවසයි.මේ අතරතුරදී එම වෙළෙඳසලෙහි ගබඩාව කඩා,
රුපියල් ලක්ෂ නවයක් වටිනා, වැගන් ආර් වර්ගයේ මෝටර් රථවලට සවි කරන ඉදිරිපස විදුලි ලාම්පු පහක් සහ බෆර් තුනක් සොරාගෙන, පලාගොස් තිබුණි.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව, කොට්ටාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාට ලද තොරතුරකට අනුව, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු සොරකම සඳහා පැමිණි කැබ් රථය ද සමග අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සන්තකයේ තිබී සොරාගත් භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන තිබුණි.සිද්ධියෙන් පැය විසිහතරක් යන්නටත් පෙර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුහු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
0 Comments