kuliyapitiya-incident

ප්‍රේම සම්බන්ධතාවකට අදාළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා කුලියාපිටිය මූලස්ථාන පොලිසියට ගිය තරුණයකුට එරෙහිව කුලියාපිටිය  මූලස්ථාන පොලිසිය හෙරොයින් ජාවාරම් කිරීම යටතේ අසත්‍ය චෝදනා ගොනුකර

බන්ධනගාරගත කළ බවට චෝදනා කරමින් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙසට එම කොමිෂන්  සභාව කළ කැඳවීමක් කුලියාපිටිය  මූලස්ථාන  පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හයදෙනකු පැහැරහැර තිබේ.



මෙම විමර්ශනය සඳහා ඉකුත් 13 දින ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන්  සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙසට එම කොමිෂන් සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරිනිය විසින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ට ලිඛිතව නියම කර ඇතත් එකී නියමයට අනුව අදාළ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විමර්ශනය සඳහා කොමිසම  හමුවේ පෙනී සිටියේ  නැත. ඊට හේතුව ලෙස මෙම පොලිස් නිලධාරීන් මානව හිමිකම් කොමිසමට දන්වා ඇත්තේ මැතිවරණ රාජකාරිවල නියැළෙන බැවින් අදාළ විමර්ශනයට පෙනී සිටිය නොහැකි බවයි.



ප්‍රේම සම්බන්ධතාවකට අදාළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පැමිණෙන  ලෙසට කළ දැනුම්දීමකට අනුව කුලියාපිටිය මූලස්ථාන පොලිසියට ගිය තම සහෝදරයාට  වෙනත් පාර්ශ්වයක බලපෑමක් මත හෙරොයින්  ජාවාරම් කිරීමේ චෝදනා නඟා අධිකරණයට ඉදිරිපත් කර අයුක්තිසහගත ලෙස බන්ධනාගාර ගතකර ඇති බව පවසමින් තඔුත්තේගම, ඉකිරිවැව අංක 164 ලිපිනයේ  ඊ.එම්. සුභා ස්වර්ණමාලි දිසානායක මහත්මිය ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයට මෙම පැමිණිල්ලක් යොමුකොට තිබේ.

අනුරාධපුර – උපාලි ආනන්ද