madugalle-400

අන්තර්ජාතික එක්දින තරග 400 ක තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමුවැන්නා බවට පත්වීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ රංජන් මඩුගල්ලේ මහතා සමත් විය. ඒ සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වූ තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේදීය.

මඩුගල්ලේ මහතාට පසුව මෙම සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ එංගලන්ත තරග තීරක ක්‍රිස් ඩ් ය. ඔහු එක්දින තරග 361 ක විනිසුරුවරයා ලෙස ක්‍රියා කර ඇත. මෙම සටහනේ 6වැනි ස්ථානය තවත් ශ්‍රී ලංකා විනිසුරුවරයෙකු වූ එක්දින තරග 222ක් තීරක ලෙස ක්‍රියා කළ රොෂාන් මහානාමට හිමිවී ඇත.

1993 වර්ෂයේදී තරග තීරක දිවිය ආරම්භ කළ මඩුගල්ලේ මහතා මේ වන විට වසර 31 ක් ජාත්‍යන්තර තරග තීරකවරයෙකු ලෙස සිය සේවා කාලය ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ලොව වැඩිම කලක් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස ක්‍රියා කිරීමේ වාර්තාවද මඩුගල්ල සතුවේ. සිය සේවා කාලය තුළදී වැඩිම අන්තර්ජාතික තරග ප්‍රමාණයක්(ටෙස්ට්, එක්දින හා විස්සයි20) විනිශ්චය කළ තීරකවරයාද වන මඩුගල්ලේ අන්තර්ජාතික තරග 778 ක් විනිශ්චය කර ඇත. එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේ තරග 636ක තීරකවරයා ලෙස කටයුතු කළ නවසීලන්තයේ ජෙෆ් ක්‍රෝය. එහි7වැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාවේ රොෂාන් මහානාම තරග 318 ක් තීරකවරයා ලෙස කටයුතු කර ඇත.

ක්‍රීඩකයෙකු ලෙස 1979 සිට 1988 කාළ සමය දක්වා ටෙස්ට් තරග 21 කට හා එක්දින තරග 63 කට ක්‍රීඩා කර ඇති මඩුගල්ල මහතා ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරගය (1983) මෙන්ම 1979, 1983 හා 1987 ලෝක කුසලාන ත්‍රිත්වයකටද ක්‍රීඩා කර ඇත.


මේ අතර මඩුගල්ලේ මහතාගේ විශිෂ්ට කඩඉම ඇගයීමට ලක් කරමින් ඊයේ (07දා) තරගය ආරම්භ කිරීමට පෙර ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සැමරුමක්ද තිළිණ කළේය. ඒ ක්‍රිකට්  ආයතනයේ ප්‍රධාන විධායක නිලධාර් ඈෂ්ලි ද සිල්වා මහතා අතිනි.