මාලඹේ, කහන්තොට පාරේ පිහිටි දෙමහල් නිවසක් තුළ මහා පරිමාණයෙන් කුෂ් නැමැති මත්ද්‍රව්‍ය ශාකය රෝපණය කොට එම මත්ද්‍රව්‍ය නිපදවා බෙදා හැරි පුද්ගලයන් දෙදෙනකු බස්නාහිර දකුණ භාර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නිවෙසේ ශීතාගාර තුළ වගා කළ කුෂ් මත්ද්‍රව්‍ය පැළ දෙසීයකට අධික ප්‍රමාණයක්ද, ඒ සඳහා යොදන පොහොර වර්ග සහ දියර වර්ගද, කුෂ් මත්ද්‍රව්‍යද ඇතුළු රුපියල් කෝටියක් පමණ වටිනාකමින් යුත් ද්‍රව්‍ය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් පින්ලන්තයෙන් මෙම බීජ වර්ග රැගෙනවිත් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. එමෙන්ම මෙම නිවෙස රුපියල් අසූදහසකට මාසික කුළියට ලබාගෙන තේ කොළ පැකැට් කරන මුවාවෙන් මෙම ජාවාරම සිදුකොට තිබේ.
දැනට හෙළිවී ඇති කරුණු අනුව මේ සඳහා මුදල් ආයෝජනය කර ඇත්තේ විදේශයක පදිංචි අයකු විසිනි. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පො.ප. සුමිත් ජයසිංහ, පො.ප. දිනුක වීරසිංහ ඇතුළු නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.
කඩුවෙල – සුගත් ලියනගේ
0 Comments