manusha-harin-minister-mp-posts-lost

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුනි.



විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.

සමගි ජන බලවේගයේ සාමාජිකයින් ව සිටි මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ පක්ෂ
සාමාජිකත්වය අහෝසි කරනු ලැබුවේ පසුගිය 2022 වසරේ මැයි 20 වැනි දින යි. පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර තීරණය කළේ ඔවුන් දෙන්නා වත්මන් රජයේ ඇමති ධූර භාරගන්නට ගිය නිසාය.  ඊට එරෙහිව ඔවුන් නීති මගට ‍එලැඹි අතර පෙත්සම් විභාග කිරීම 2023 වසරේ ඔක්තෝම්බර් මස 12 වැනි දින ආරම්භ කෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීයි.



සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව මෙම තීරණ නිවැරදි බව අධිකරණයේදී පිළිගැනිණි.

පක්ෂ සාමාජිකත්වය අහෝසි වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ මන්ත්‍රී ධුරද අහෝසි වන අතර ඇමති ධූරද ඉබේම අහොසිවී යනු ඇත.