මත්තේගොඩ, ගල්වලදෙණිය ප්‍රදේශයේ නිවසක හුදෙකලාව වාසය කළ පුද්ගලයකුගේ මළ සිරුරක් මිය යාමෙන් දින හතකට පමණ පසුව සොයා ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.මෙසේ මියගොස් මිය ගොස් ඇත්තේ මත්තේගොඩ, ගල්වලදෙණිය ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ පීටර් සමන් රොහාන් නමැති (65) හැවිරිදි මෝටර් කාර්මික ඉංජිනේරුවරයකු බව පොලිසිය කියයි.මෙම පුද්ගලයා මීට වසර 26 කට පමණ පෙර විවාහ වී සිය බිරිය සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් 2016 වසරේදී යළි මෙරටට පැමිණ නිවසේ හුදකලාව මෙසේ වාසය කර ඇතැයි පැවසේ.
මේ අතරතුරදී මෙම පුද්ගලයාගේ මාසික වියදම සඳහා බිරිය එරට සිට මුදල් එවා ඇති අතර මුදල් ලබාගැනීමෙන් පසුව ඒ බව දුරකථනයෙන් බිරිඳට දැන් වුවද මෙවර එවූ මුදල් ලබා ගත් බව යළි නොදැන්වීම නිසා අසල්වැසියකුගෙන් විමසා බැලීමේදී දින කිහිපයක සිට නිවසේ විදුලිය අක්‍රිය වී ඇති බව පවසා තිබේ.ඒ අනුව සැමියා අසනීප තත්ත්වයකින් යැයි සිතා බිරිඳ මෙරටට පැමිණ ඥාතියකු සමග නිවසට පැමිණ විපරම් කර බැලීමේදී නිවසේ ගේට්ටුව සහ නිවස දොරගුළු දමා තිබීම පිළිබඳව සැකසිතී පොලිසියට පැමිණිලි කර තිබේ.
පසුව පොලිස් නිලධාරි කණ්ඩායමක් සමග නිවසට ගොස් පිටුපස දොරින් ඇතුළු වී පරීක්ෂා කිරීමේදී නිවසේ පිටුපස කාමරයක් ඉදිරිපිට බිම වැටී මිය ගොස් තිබූ මළ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.ම
ෙම පුද්ගලයා මීට දින හතකට පමණ පෙර මිය යන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර දේහය හඳුනාගත නොහැකි තරමටම නරක් වී දුගඳ හමමින් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කළේය. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසට නියෝග කළ අතර ස්ථානීය පරීක්ෂණයක් සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණායතන නිලධාරීන් කැඳවා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් පොලිසියට නියෝග කළේය.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය පනීත සෙනවිරත්න මහතා විසින් සිදු කළ අතර මෘත දේහය 5 පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කරන ලදී. එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව හෘද වස්තුවේ රුධිර නාල අවහිර වීමෙන් රුධිරයේ ක්‍රියාකාරිත්වය අක්‍රීය වී සිදු වූ මරණයක් බවට හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය.
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
0 Comments