mawanella-incident

 මාවනැල්ල නගරයේ තට්ටු ගොඩනැගිල්ලක පිහිටි රන් භාණ්ඩ වෙළෙඳසලක සේප්පුවක තිබුණු රුපියල් තුන් ලක්ෂ විසිපන් දහසක් වටිනා කාන්තා රන් මුදු හතක් පෙරේදා (27) කාන්තාවන් දෙදෙනකු විසින් ඉතා සූක්ෂමව සොරාගෙන ගොස් ඇතැයි මාවනැල්ල පොලිසිය පැවැසීය.සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ, මාවනැල්ල නගර මධ්‍යයේ තට්ටු ගොඩනැගිල්ලක ඉහළ මහලේ රන් භාණ්ඩ අලෙවි වෙළෙඳ සලක් ඇති බවත්, එම වෙළෙඳසලේ හිමිකරු පමණක් සේවය කරන බවය.




කාන්තාවන් දෙදෙනකු සිය දියණිය වැඩිවියට පත් වූවා යැයි කියමින්, කරාබු ජෝඩුවක් මිලට ගැනීමට අවශ්‍ය බව පවසා, වෙළෙඳසලට පැමිණ ඇති බවත් පොලිසිය පැවැසීය.වෙළෙඳසලේ තබා තිබුණු පුටු දෙකක අසුන් ගෙන ඇති කාන්තාවන් දෙදෙනාට වෙළෙඳසල් හිමිකරු ආසන්නයේ කබඩ් එකක තබා තිබුණු රන් කරාබු ජෝඩු කිහිපයක් පෙන්වා ඇත. ‘මේ කරාබු ජෝඩු ලස්සන මදි. ඇතුළේ තව තියෙනවා නම් රැගෙන එන්න' යැයි කාන්තාවන් පවසා ඇති බවත් පොලිසිය පැවැසීය. පසුව වෙළෙඳසල් හිමිකරු ඇතුළත සේප්පුවක තිබුණු කරාබු ජෝඩු අසුරා තිබුණු පෙට්ටියක් ගන්නා අවස්ථාවේදී එක් කාන්තාවක වෙළෙඳසල් හිමිකරු පිටුපසින් ගොස් රුපියල් 3,25,000ක් වටිනා කාන්තා රන් මුදු හතක් අසුරා තිබුණු පෙට්ටියක් සූක්ෂම ලෙස ලබාගෙන අත් බෑගයට දමාගෙන ඇති බවත් පොලිසිය පැවැසීය.




කාන්තාවන් දෙදෙනා කරාබු ජෝඩු ලස්සන මදි යැයි පවසා වෙළෙඳසලෙන් පිටව ගොස් ඇති අතර, කාන්තා රන් මුදු පෙට්ටිය අතුරුදන්ව ඇතැයි පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් පොලිසිය පැවැසීය.මෙම සොරකමට කාන්තාවන් තිදෙනකු පැමිණ ඇති බවත්, දෙදෙනකු වෙළෙඳසලට ගොස් මෙම සොරකම සිදු කර පලා ගොස් ඇති බවත් පොලිසිය පැවැසීය.සැකකාර කාන්තාවන් දෙදෙනාගේ ඇඟිලි සලකුණු වෙළෙඳසලේ මේසයක් මත තිබී ලබාගෙන ඇති අතර, කාන්තාවන් දෙදෙනා  වෙළෙඳසලට යන එන දර්ශන අසල සීසීටීවී කැමරාවක සටහන්ව ඇති බවත් පොලිසිය පැවැසීය. කාන්තාවන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසිය පැවැසීය.

( චමින්ද වැවතැන්න)