medirigiriya-incident

මෙවර ගණිත අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටින මැදිරිගිරිය ජාතික පාසලේ සිසුවකුගේ සියලු පොත්පත් ආදිය ගිනි තබා විනාශ කෙරූ බව කියන පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කියන පුද්ගලයා මෙම දරුවාගේ නිවස ඉදිරිපිට නිවසේ වාසය කරන අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ පුද්ගලයෙකු බව පොලිසිය කියයි.



මෙම පුද්ගලයා පසුගිය දා පොරොවක්, ගල් කඩන උපකරණයක් සහ තියුණු ආයුධයක් අතැතිව මෙම නිවසට පැමිණ නිවසේ දොරට ආයුධවලින් පහරදී දොරගුලු කඩා ඇතුළු වී නිවසේ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ රැසකට හානි සිදුකොට මෙම දරුවාගේ වසර දෙකකම සියලු සටහන් සහිත පොත් සියල්ලම ගිනිතබා ගොස් ඇත. දැනට මෙම නිවැසියන් අලුතින් ඊට යාබදව ඉදි කරනු ලබන නිවසේ වැඩ කරමින් සිටි මේසන් බාස්වරයකුටද මොහු විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකොට ඇත.

මෙලෙස ඔහුට තුවාල සිදු කරන අවස්ථාවේ ඔහුගේ සහායට සිටි අනෙක් පුද්ගලයා විසින් මට්ටම් ලීයකින් මොහුගේ හිසට පහරදී ඇති අතර පසුව මොහු තුවාල සහිතවම මැදිරිගිරිය පොලිසියට භාර වී ඇත. පොලිසිය විසින් තුවාල සහිතව සිටි සැකකරු මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු රාත්‍රී කාලයේ රෝහලෙන් පලාගොස් ඇත.



සැකකරු ආයුධ සහිතව නිවසට ඇතුළුවන අවස්ථාවේ මෙම දරුවාගේ මව සහ බාල සොහොයුරා සිට ඇති අතර ඔවුන් නිවසින් දිවගොස් දිවි ගලවාගෙන ඇත.දැනට මැදිරිගිරිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන මේසන්බාස්වරයාගේ තත්ත්වය ඒතරම් බරපතළ නොවන බවද රෝහල් ආරංචිමාර්ග කියයි. මෙම සැකකරු නිරන්තරයෙන් බීමත්ව පැමිණ සිය මවුපියන්ට පවා කරදර කරන බවත් එවිට ඔවුන් නිවසින් පවා බැහැරව යන බව ද ප්‍රදේශවාසීහු පැවැසූ බව පොලිසිය කියයි.

මෙවර විභාගයට පෙනී සිටීමට සිටින දරුවාගේ පොත්පත් ආදියට සිදු වූ හානිය සම්බන්ධයෙන් මැදිරිගිරිය ජාතික පාසලේ විදුහල්පති ඕ.ජී.යූ. සනත් බණ්ඩාර මහතා අප වෙත කියා සිටියේ මෙවැන්නකි.දැනට මෙම සිද්ධිය හේතුවෙන් මානසිකව වදවන දරුවාගේ මානසිකත්වය යථා තත්වයට පත් කරලා පසුගිය සටහන් ආදිය වෙනත් දරුවකුගෙන් ඡායා පිටපත් අරගෙන විෂය භාර ගුරුවරුන්ගේ ද සහායෙන් දරුවාට විභාගයට මුහුණ දීමට අවශ්‍ය පසුබිම සකසා දෙන්න පාසල ලෙස අප කටයුතු කරනවා.


  චාපා මධුභාෂිණී