meegoda-incident

අවුරුදු 16 ක පිරිමි දරුවකු මෝටර් රථයකින් පැහැරගෙන යමින් සිටි බව කියන කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු ඇඹිලිපිටිය නෝනාගම ප්‍රදේශයේදී මෝටර් රථයද සමග අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි. සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා සහෝදරයන් බවද පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශය හෝමාගම සහ මීගොඩ පොලීසියට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ පරකඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29 සහ 31 වියේ පසුවන පුද්ගලයන්

දෙදෙනකි. සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඔවුන්ගේ දෙදෙනෙකු හෝමාගම පොලිස් විශේෂ කාර්යාංශයට සහ මීගොඩ පොලීසියට අනුයුක්තව සේවය කරනු ලබන කොස්තාපල්වරුන් දෙදෙනකු බව පොලීසිය කීය.

ඇඹිලිපිටිය පල්ලෙගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16 ක පිරිමි දරුවකු මෝටර් රථයකින් පැහැරගෙන යන බවට ඇඹිලිපිටිය පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනවලදී ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේදී එම මෝටර් රථය නවතා පර්ක්ෂා කිරීමේදී සැකකරුවන් සිවු දෙනා සහ එම දරුවා ද සිට ඇති බව පොලීසිය පවසයි.සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ,

පැහැර ගත් දරුවා ඔවුන් දැක දිවයාම හේතුවෙන් දරුවා අල්ලා පොලීසියට භාරදීමට මෝටර් රථයෙන් රැගෙන ආ බවය.

ෆෝන් කාඩ්පතක් මිලදීගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී සැකකරුවන් විසින් තමන්ව මෝටර් රථයේ දමාගෙන පැහැරගෙන ගිය බවට දරුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.මෙම දරුවා පැහැර ගත්තේ කුමන හේතුවක් මත යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි. ඇඹිලිපිටිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතාගේ උපදෙස් පරිදි ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සඳූපම සූරියආරච්චි