meerigama-incident

තනිව නිවසේ සිටියදී තමා බලහත්කාරයෙන් අපයෝජනය කළ බවට මීරිගම පොලීසියට බොරු පැමිණිල්ලක් කළ බව කියන සැකකාරියක් මේ මස 29 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සමිත ලාල් කොඩිසිංහ මහතා නියෝග කළේය.මීරිගම ප්‍රදේශයේ ගම්මානයක පදිංචි පනස් දෙහැවිරිදි කාන්තාවක් එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.






තමා තනිව නිවසේ සිටියදී විත්තිකරු බලහත්කාරයෙන් අපයෝජනය කළ බව කියමින් සැකකාරිය මීරිගම පොලීසියට පැමිණිලි කර තිබිණි. එම පැමිණිල්ලට අදාළව පොලීසිය පරීක්ෂණ පවත්වා එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමෙන් පසු ඔහුට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබ තිබේ.එම නඩුව ඉකුත් 22 වැනිදා විභාගයට කැඳ වූ අවස්ථාවේ පැමිණිලිකාරිය හා ඇප මත මුදා හැර සිටි විත්තිකාර පුද්ගලයා අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.




මෙහිදී අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉදිරියේ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාර් ප්‍රසාද් ප්‍රනාන්දු මහතා පැමිණිලිකාරිය සාක්කි කූඩුවට කැඳවා ලඝු නොවන නඩු විභාගය ආරම්භ කරමින් පැමිණිලිකාර්යගෙන් සාක්ෂි විමසූ අවස්ථාවේ පෞද්ගලික තරහක් මත විත්තිකරුට එරෙහිව බොරු පැමිණිල්ලක් කළ බවත්, එය ඉල්ලා අස් කර ගන්නා බවත් කියා සිටියාය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විත්තිකරු නිදහස් කිර්මට නියෝග කර අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිර්ම සම්බන්ධව පැමිණිලිකාරිය අත් අඩංගුවට ගෙන පරීක්ෂණ වාර්තාවක් සමග ඇය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මීරිගම පොලීසියට නියෝග කළේය. මේ අනුව පොලීසිය අසත්‍ය පැමිණිල්ලක් කළ එම කාන්තාව අත් අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගෙන බී වාර්තාවක් සමග අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එසේ රිමාන්ඩ් කැරිණි. නැවත කැඳවීම මේ මස 29 වැනිදාට කල් තබන ලදී.මීරිගම පොලීසියේ පොලිස් සැරයන් නිශාන්ත රූපසිංහ මහතා පැමිණිල්ල මෙහෙය විය.

 ආනන්ද ඉ ජයකොඩි