මිල්ලනිය දෙදොරවත්ත ප්‍රදේශයේදී අඹුසැමි යුවළක විසින් පුද්ගලයෙකුට ආරක්ෂක හිස් වැස්මකින් සහ කුරුඳු පොල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි මිල්ලනිය පොලීසිය සඳහන් කරයි.මිල්ලනිය, දෙල්දොර වත්ත ප්‍රදේශයේ පදිංචි ගයාන් රුක්මාල් (35) නමැත්තෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. සැකකාර යුවළ විසින් මරණකරුගේ 13 හැවිරිදි දියණිය ඉදිරිපිට දී මෙම ඝාතනය සිදු කොට ඇති බවත් ඉන් අනතුරුව ඔවුන් ප්‍රදේශය අත්හැර පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ බිරිඳ මීට වසර අටකට පමණ ඉහතදී වෙනත් පුද්ගලයකු සමග පලා යෑමෙන් අනතුරුව තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඝාතනය වී තිබූ අතර දැරිය නැන්දනියකගේ සෙවණේ හැදී වැඩී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. දැරියගේ වියදම් වෙනුවෙන් එකී නැන්දනියට ඝාතනයට ලක් වූ පුද්ගලයා මාසිකව රුපියල් 8000 ක මුදලක් ගෙවිය යුතු බව අධිකරණ නියෝගයක්ද වසර කීපයකට ඉහතදී නිකුත්ව තිබූ බව පොලීසිය සඳහන් කරයි.
පෙරේදා (11) නැන්දනිය දහතුන් හැවිරිදි දැරියත් සමග එකී මුදල් ඉල්ලීමට ඝාතනයට ලක් වූ දැරියගේ පියා පදිංචිව සිටින නිවසට පැමිණ තිබූ අතර ඔහු එම අවස්ථාවේ එහි නොමැති වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා යතුරුපැදියෙන් මාර්ගයේ පැමිණීමේදී ඒ ආසන්නයේදීම මියගිය අය ඉදිරියට හමුවී ඇතැයි පොලීසිය පවසයි.එම අවස්ථාවේදී ඝාතනයට ලක් වූ පුද්ගලයා ඔහුගේ යතුරුපැදිය මඟ හරස් කර මට මගේ කෙල්ල ඕනෙ" යැයි නැන්දනියට පවසා තිබේ. ඒ අතර එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවීමෙන් පසු ඇය විසින් ඇයගේ ස්වාමිපුරුෂයාට "මට ගයාන් ගැහුවා " යැයි පැවසීමත් සමග ඔහුද යතුරුපැදියෙන් එම ස්ථානයට පැමිණ තිබේ.
ඒ සමගම සැකකාර නැන්දණිය විසින් අත දරාගෙන සිටිය ආරක්ෂක හිස්වැස්මෙන් දැරියගේ පියාගේ හිසට පහර දී ඇති අතර ඒ සමගම සැකකාරියගේ ස්වාමිපුරුෂයා කුරුඳු පොල්ලක් රැගෙන එයින් පහරදී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම පහරදීම්වලින් එම පුද්ගලයා එම ස්ථානයේ වැටීමත් සමගම ඔවුන් තව තවත් පහරදී ඇතැයිද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ. එම පහර දීමෙන් ආරක්ෂක හිස් වැස්ම කැබලි කිහිපයකට කැඩී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.බරපතළ තුවාල ලද පුද්ගලයා සුව සැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහලට රැගෙන යාමෙන් අනතුරුව ඊයේ අලුයම මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments