monaragala-police-triple-murder

 මොනරාගල පොලිස් කොට්ඨාසයේ කරඬුගල රාජකාරි කළ කොස්තාපල්වරයකු ත්‍රිත්ව ඝාතනයක් සිදුකර තමාටද වෙඩිතබාගෙන මියයාමේ විනාශකාරී සිදුවීමක් ඊයේ වාර්තා වූ අතර දැනට වාර්තාවන තොරතුරු අනුව මෙම ඝාතන ඔහුගේ හිතට වදදුන් ප්‍රශ්න කිහිපයකට පලිගෙන මරාගෙන මැරෙන සිදුවීමක් බව හඳුනාගන්නට ලැබේ.
වෙඩි තබා සිය දිවි හානිකරගත් පොලිස් කොස්තාපල්වරයා ඉඟිනියාගල, නෙල්ලියද්ද ප්‍රදේශයේ පදිංචි තුසිත කුමාර (42) නැමැත්තෙකි.  ඔහු ඝාතනය කර තිබුනේ තමා සමග එකට පොලිසියේ රාජකාරී කරන ඉඟිනියාගල, නාමල්ඔය පදිංචි  ළහිරු උදාර (33) නමැත්තෙකු සහ තමාගේ නිවසට අසල්වාසී නිවසක වාසය කරන වයස 54 මවක හා වයස 17 දියණියකි.
දැනට කෙරී ඇති පරීක්ෂණ අනුව පළමු ඝාතනය හා දෙවැනි ද්විත්ව ඝාතන අතර සම්බන්ධයක් නැත. පළමුවැන්න එක් ප්‍රශ්නයකටත් දෙවැන්න වෙනත් ප්‍රශ්නයකටත් සිදුකර ඇති බව හඳුනාගන්නට ලැබේ.

මැරුම්කෑ කොස්තාපල්වරයා සහ වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් කොස්තාපල්වරයා අතර කලෙක සිට ආරවුලක් තිබී ඇති අතර කරඬුගල පොලිසියේ නිලධාරීන්ද ඒ සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට අවවාද සිදුකර තිබී ඇත. සිදුවීමට ආසන්න දිනයකදී පොලිස් රාජකාරී කරද්දී පැමිණිල්ලක් ලියා නොගෙන සිටියායැයි මෙම කොස්තාපල්ට එරෙහිව ගැටලුවක් මතුකරන්නට තමා සමග අමනාප කොස්තාපල් උත්සාහ දැරීම නිසා මොහු වැඩ තහනමකට ලක්වේ යයි සිත්තැවුලෙන් සිට ඇතැයි කියැවේ.
අමනාප කොස්තාපල්ගේ නිවසට උදේ පාන්දර ගොස් ඔහුව පිටතට ගෙන්වා වෙඩිතබා පළාගිය තුසිත කුමාර අනතුරුව කිලෝමීටර 13 ක් පමණ දුර හැරී තම නිවස දෙසට ඇවිත් අසල්වාසී නිවසට කඩාවැදී නිවසේ අය පාන්දරින්ම අවදිකර එහි සිටි මවක හා දියණියක මරා දමා තිබුණි. එයට හේතුව කලෙක සිට පවතින ඉඩම් ආරවුලක් බවත් ඉඩමක් නිසා නඩු හබයක් අසල්වාසී පවුල සමග තිබී ඇති බවත් පැවසේ.
ඝාතන තුනක් සිදුකර පසුව පොලිස් නිල ඇඳුම සහ නිල අවියද රැගෙන යතුරුපැදියෙන් කරඬුගල පොලිසියට ගිය තුසිත කුමාර කොස්තාපල්වරයා එම අවියෙන්ම වෙඩි තබාගෙන ජීවිතය නැති කරගෙන තිබේ.


මරාගෙන මරණයට පත්වූයේ තිදරු පියෙක් වන අතර ඔහු ඉඟිනියාගල, නෙල්ලියද්ද පදිංචිකරුවෙකි. වෙඩි තබා මරාදැමූ පොලිස් කොස්තාපල්වරයා ඉඟිනියාගල,නාමල්ඔය   පදිංචිව සිටි එක්දරු පියෙකි.
කොස්තාපල් තුසිත කුමාර තම විරුද්ධවාදී ළහිරු උදාර කොස්තාපල්වරයාගේ නිවෙසට ගොස් ඔහුව නිවෙසේ මිදුලට කැඳවා අත තිබූ ටී. පනස් හය ගිනි අවියෙන් වෙඩි තබා තිබුණ අතර සිදුවීම විස්තර කළ ඝාතනයවූ අයගේ බිරියගේ  පියා (මාමණ්ඩිය) සිදුවීම විස්තර කළේ මෙසේය.

‘අපි නිදාගෙන හිටියේ. කවුද ඇවිත් දොරට ගහනවා වගේ ඇහුණා. මම අහගෙන හිටියා. ටික වේලාවකින් එයා ගියා වගේ දැනුණා. ටික වේලාවකින් මට බූට් සද්දයක් ඇහුණා. පස්සේ හෝන් ගහන සද්දයකුත් ආවා. ගෙදර කවුරුත් අවදි වුණේ නැහැ. මම ඉස්සරහ ලයිට් එක දාලා දොර ඇරියා. අරිනකොට එයා පාරේ හිටියේ.



මම ඇහුවා ඇයි කියලා. එතකොට එයා ඇහැව්වා උදාර රාලහාමි ගෙදරද කියලා. මම කිව්වා ඔව් කියලා. උදාරට පොඩ්ඩක් කතා කරන්න කිව්වම මම ගිහින් බෑනට කතා කළා. බෑනා මිදුලට ගියා. යනවත් එක්කම වෙඩි සද්දයක් ඇහුණා. වෙඩි පහක් වගේ තියෙනවා ඇහුණා. මට එළියට යාගන්නවත් බැරිවුණා.” ඔහු කීය.

වෙඩි වැදුණු නිලධාරියා එතැනම ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර පසුව වෙඩි තැබූ කොස්තාපල්වරයා ඊට කිලෝමීටර් 13ක පමණ දුරකින් පිහිටි සිය නිවෙස ආසන්නයේ පදිංචි මව සහ දියණියට එම ගිනි අවියෙන්ම වෙඩි තබා තිබුනේ අලුයම 3.30ට පමණය.නෙල්ලියද්ද හඳගල ගම්මානයේ 54 හැවිරිදි ආර්.එම්. මල්ලිකා මැණිකේ මව සහ ඒ.එම්. මධුෂිකා ලක්මාලි නමැති 17 හැවිරිදි පාසල් සිසුවියක අවාසනාවන්ත ලෙස වෙඩිකා මියගොස් තිබුණි.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ  මෙම කාන්තාව සහ දියණිය නිදාගෙන සිටියදී බවත් “මරනවෝ, මරන්න එපෝ” කියා ඔවුන් කෑගැසුවද වෙඩි තැබීම නතර නොවූ බවත් අසල්වාසීහු පොලිසියට පැවැසූහ.මෙම නි‍වසේ වෙන­දාට ඥාති දිය­ණි­යක් සිටින බවත් ඇය මෙම අව­ස්ථාවේ දී එහි නොසිටි බැවින් ජීවි­තය බේරී ඇති බව ද පොලි­සිය සඳ­හන් කළේය.

“මේ දවස් ටිකේම එයා කතා කළේ නැහැ. කන්න දුන්නත් හරියට කන්නේ නැහැ. බාගෙට කාලා බලාගෙන ඉන්නවා. පොලිසියේ ඔක්කොම ප්‍රශ්න එයාගේ කර පිටට දානවා කියලා තමයි එයා කිව්වේ.” සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි තබා සියදිවි හානිකරගත් නිලධාරියාගේ බිරිය කීවාය.

ද්විත්ව ඝාතන සිදුකළ බවත් නොකියා දිවිනසාගන්නට ඔහු පොලි­සි­යට ගොස් ඇත්තේ තමා ගැන සොය­න්නට එපා යැයි පව­ස­මින් බිරි­යට දුර­ක­තන ඇම­තු­මක් ද ලබා­දී­මෙන් අන­තු­රුව බව අනා­ව­ර­ණය වී ඇත. එහි දී ඔහු බිරි­යට පවසා ඇත්තේ තමාගේ බැංකු පොතේ ඇති මුදල් ලබා­ගෙන දරු­වන් තිදෙනා බලා ගන්නා ලෙසය.



එම ඇම­තු­මෙන් කල­බල වූ එම කොස්තා­ප­ල්ව­ර­යාගේ බිරිය ත්‍රිරෝද රථ­ය­කින් දරු­වන් දෙදෙ­නෙක් ද රැගෙන පොලිස් ස්ථානය වෙත පැමිණ ඇති බවත් පොලිස් කොස්තා­ප­ල්ව­රයා එහි දී කල­බල වී ළඟට නොඑන ලෙස බිරි­යට කෑගසා තර්ජ­නය කර වෙඩි තබා­ගෙන සිය­දිවි හානි­ක­ර­ගෙන ඇති බවත් පොලි­සිය කියයි.මෙම නිල­ධා­රියා පොලිස් ස්ථානය වෙත පැමිණ වෙඩි තබා­ගෙන ඇත්තේ අලු­යම 4.10ට පමණ බව පොලි­සිය කියයි.

මරාගෙන මැරුණ කොස්තාපල් තුසිත කුමාරගේ බිරිය වැඩිදුරටත් මෙසේ කීවාය.
"මහත්තයා පාන්දර 3.00ට විතර මට කෝල් එකක් ගත්තා. ඔයා දරුවන් බලාගෙන පරිස්සමින් ඉන්න පොලිසියේ අය හදන්නේ මම වැරැදිකාරයෙක් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ මම අල්ලපු ගෙදර අයත් එක්ක යතුරු පැදියෙන් කරාඩුගල පොලිසියට ගියා. ඒ යන වෙලාවේ එයා පොලිසියේ හිටියේ නැහැ. පස්සේ මම ගෙදර ආවා. ඊට පස්සේ තමයි මේ සිදුවීම දැන ගන්න පුළුවන් වුණේ. මගේ මහත්තයා දින තුනක විතර කල්පනා කර කර හිටියේ කෑම දුන්නට කෑවෙත් නැහැ. නිතරම කිව්වේ පොලිසියට අය මට වරද පටවන්න හදනවා කියලා.

දැන් ටික දවසකට කලින් පොලිසියට ආපු කෙනෙකුගේ පැමිණිල්ලක් ලිව්වේ නැහැ කියලා චෝදනාවක් තිබුණා. ඒ වෙලාවේ පොලිසියේ ලොකු මහත්තයා ඉඳලා නැහැ. පස්සේ පැමිණිල්ල දාන්න ආපු අය පොලිසියේ කලබල කරලා තියෙනවා. ඒ සිදුවීමට මගේ මහත්තයා වැරැදිකාරයා කරන්න හදනවා කියලා තමයි මට එයා කිව්වේ. අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා පොඩි දරුවට දැන් හරියට මාසයයි. අල්ලපු ගෙදර අයට වෙඩි තිබ්බේ ඇයි කියලා මම දන්නේ නැහැ. එහෙම ලොකු ඉඩම් ආරවුලක් තිබුණෙත් නැහැ" පැවසුවාය.


මෙම පොලිස් කොස්තා­ප­ල්ව­රයා රාජ­කා­රියේ රැඳී සිටිය දී පොලි­සියේ ප්‍රධාන ගේට්ටුවේ ආර­ක්ෂා­වට සිටි සිවිල් ආර­ක්ෂක බළකා සෙබ­ළාගේ ගිනි අවිය රැගෙන එම සිවිල් ආර­ක්ෂක නිල­ධා­රි­යා­ගේම යතුරු පැදියේ නැ‍ඟී පොලිස් ස්ථාන­යෙන් පිටත්ව ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 ඝාතකයා අවු­රුදු 42ක් වය­සැති වසර 20ක සේවා­කා­ල­යක් ඇති නිල­ධා­රි­යෙකි.

සිය­දිවි හානි කර­ගත් පොලිස් කොස්තා­ප­ල්ව­ර­යාගේ මර­ණය පිළි­බඳ මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය බිබිල වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් තක්ෂිලා සූරි­ය­ආ­රච්චි මහ­ත්මිය විසින් පැවැ­ත්වී­මට නිය­මිත අතර පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය මොන­රා­ගල දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැ­ත්වී­මට නිය­මි­තව තිබිණි.