නීති විරෝධි මාර්ගවලින් මියන්මාරයේ රැකියා සඳහා යෑමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. ඒ අනුව නීති විරෝධී විදෙස් රැකියා ඒජන්තවරුන් මෙන්ම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සහ ආයතන මඟින් මියන්මාරයේ රැකියා සඳහා අනීතිකව පිටත්ව ඇති ශ්‍රී ලාංකිකයන් පිරිසක් මියන්මාරයේ ත්‍රස්තවාදි කණ්ඩායම්වල පාලනය යටතේ පිහිටි සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක නීති විරෝධි ක්‍රියාකාරකම් සඳහා බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට හෙළි වූ කරුණු වාර්තා කරමින්
මියන්මාරයේ රැකියා සඳහා නීති විරෝධී මාර්ගවලින් යෑමෙන් වළකින ලෙස රජය ශ්‍රී ලාංකිකයන්ට අවවාද කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය විසින් මෙවැනි අනතුරු ඇඟවීම් කරන ලද පසුබිමක ශ්‍රී ලාංකිකයන් 89 දෙනකු නීතිවිරෝධී ලෙස මියන්මාරයේ රැකියා සඳහා ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර, මහත් පරිශ්‍රමයකින් අනතුරුව එයින් ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු මේ වනවිට නිදහස් කරගැනීමට හැකි වී ඇත.
කෙසේ වෙතත් මේ සයිබර් අපරාධ ප්‍රදේශයේ තවමත් ශ්‍රී ලාංකිකයන් 54 දෙනකු කොටු වී සිටින බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා රජය මියන්මාර රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මෙලෙස සිර වී සිටින පිරිස නිදහස් කරගැනීමට සෑම උත්සාහයක්ම ගනිමින් සිටින අතර, මේ අනතුරු ඇඟවීම් සහ ඔවුන් මුදාගැනීමේ අඛණ්ඩ උත්සාහයන් නොතකා, ඇතැම් පුද්ගලයන් නීතිවිරෝධි මාර්ගවලින් රැකියා සඳහා මියන්මාරයට යෑමට තවදුරටත් පෙලඹෙන බවට නිරීක්ෂණය වී ඇතැයිද ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටී.
මේ තත්ත්වය සලකා බලා නීති විරෝධි මාර්ගවලින් මියන්මාරයට රැකියා සඳහා යෑමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම්වරයා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර, පවත්නා තත්ත්වය නොසලකා මෙවැනි මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සහ ආයතන පිළිබඳ තොරතුරු වහාම ආරක්ෂක අමාත්‍යාංශය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.
(මහින්ද අලුත්ගෙදර)
0 Comments