namal-speaks

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වූ තම පක්ෂයේ තීරණය සමග ඉතිරි වනුයේ එක් පුද්ගලයාද, ඔහු සමග එක්ව සටන ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.ඒ අනුව පක්ෂයෙන් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා තීරණය කිර්ම සම්බන්ධයෙන් වූ සාකච්ඡා මේ වන විට තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවත් එළඹෙන සතියේදී ඔහු කවුරුන්දැයි ප්‍රකාශ කළ හැකි වන බවත් ඔහු පැවසීය.




ජාතික සංවිධායකවරයා ප්‍රකාශ කර සිටියේ 'පොහොට්ටුව' ලකුණින් ජනාධිපතිවරණය ඉදිර්පත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා කැමති වන්නේනම් එම යෝජනාව මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තීරණයක් ලබාගත හැකි බවයි. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශ කිර්ම සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතා කටට එන දෑ පවසන බවත් මාධ්‍ය ඒවා විශ්වාස කරන බවත් කී රාජපක්ෂ මහතා, පක්ෂයේ මතයට විරුද්ධව වෙනත් අපේක්ෂකයන්ට සහාය දක්වන පක්ෂ සාමාජික මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට පෙර පක්ෂයක් ලෙස මැතිවරණය පිළිබඳ පූර්ණ අවධානය යොමු කළ යුතුව ඇති බවද සඳහන් කළේය.


මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීන් 92 කණ්ඩායම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ,




"රනිල් වික්‍රමසිංහ මහත්මයාට අපි කියනවා සජබ, ටීඑන්ඒ, රවුෆ් හකීම්, බදියුදීන් කියන ඕනෑම පාර්ශ්වයක සහාය දැන් ලබා ගන්න කියලා. මොකද මෙච්චර දවසක් කිව්වනේ අපි එක්ක ඉන්න නිසා බැරි වෙනවා කියලා. ඔළුගෙඩි, ඉලක්කම් අපිටත් පෙන්නන්න පුළුවන්. එස්.එම් චන්ද්‍රසේන මහත්තයා ගැන කනගාටු වෙනවා. ඔහු මහින්ද මහත්තයාට හොඳින්ම සහාය දුන් බව ඇත්ත. නමුත් මගේ හොදම යාළුවා ශෙහාන් සේමසිංහ එක්ක අමනාපයක් ඇති වුණෙත් ඔහු නිසා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරයා කර දී සමහරු කිව්වා නාමල් නඩුවලින් නිදහස් වෙන්න ඒ තීරණය ගත්තා කියලා. ඒ අයම අද එතුමා ළඟට ගිහින්. පුද්ගලයෙක් කේන්ද්‍ර කරගෙන අපි තීරණ ගන්නේ නෑ. විනය ක්‍රියාමාර්ග ගැනීම ඉදිරියේදී බලමු. මොකද හැමෝම දෙපැත්ත එක්කම කතා කරනවානේ. සමහරු තුන් හතර පැත්තක් එක්ක කතා කරනවානේ.


බලන්න පුළුවන් නෙළුම් මාවතට ඇවිත් ඒ අයම මෙතනටත් එනවා. පක්ෂයේ දේශපාලන මණ්ඩලයට බණින අයම තමයි චෝදනා කරන්නෙත්. ඒ අය තමයි මාව ජාතික සංවිධායක කළෙත්. මට තියෙන වගකීම පක්ෂය ආරක්ෂා කිරීම. එයාලගෙ මතයේම මම ඉන්නවා නම් මම පරිණත තරුණ දේශපාලනඥයෙක් කියනවා. මම එහෙම කාලානුරූපීව චරිතය වෙනස් කරන්නේ නෑ.ඒ අයට පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක ඕනෑම වෙලාවක කතා කරන්න. එයාල එතුමගේ ගෝලයෝ. ” යනුවෙනි.

නිදර්ශනි වික්‍රමසිංහ