namal-speaks

 ලෝකයේ දැවැන්ත ලෙස ආර්ථික කඩා වැටුණද, වේගයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කරන්න මහින්ද රාජපක්ෂ යුගයට සහ මහින්ද චින්තනයට හැකියාව ලැබුණු මහින්ද රාජපක්ෂ මහතා නතර කළ තැනින් මේ රටේ සංවර්ධනය ආරම්භ කිමට තමා සූදානම් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක
නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.ඒ මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දිවුලපිටිය නගරයේ‍ පැවැති ජනහමුවට එක්වෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.


"අපි අභියෝගවලට මුහුණදීපු දේශපාලන බලවේගයක්. ඒ වගේම කිසිදු අභියෝගයක් මගහැර නැහැ. 2005 දී ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව අපේ බලවේගය භාර ගත්තා. ඒක අපි ජයග්‍රහණය කළා. ඒ වගේම දේශපාලනික වශයෙන් ලෝක ආර්ථික අවපාතයක් එදා පැමිණියා. ලෝකයේ දැවැන්ත ආර්ථික කඩා වැටෙන විටත් ඒ අතර ලංකාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය බවට පත්කරන්න එදා මහින්ද රාජපක්ෂ යුගයටත් මහින්ද චින්තනයටත් හැකියාව ලැබුණා.

අපි බලශක්තියෙන් අංග සම්පූර්ණ වෙලා තිබුණා.


2015 පසුව එක මෙගාවොට් එකක් හෝ විදුලිබල පද්ධතියට එක් කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා පටන් ගත්ත උමා ඔය,සාම්පූර් බලාගාරය අතරමග නතර කළා.කොවිඩ් 19 වසංගතයෙන් පසුව ලෝකයේ බලවත් රටවල් ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණා. එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තීරණය කළා මිනිස්සුන්ට මැරෙන්න දෙන්න බැහැ කියලා. මිනිස්සු ජීවත්වන තැනට අපි වැඩ කළා. අපි ඒ අභියෝගයත් ජයග්‍රහණය කළා. කුමන්ත්‍රණයක් ආවා නැවත වරක් මේ රටට ආදරය කරන බෞද්ධ දේශපාලන කඳවුර කඩාගෙන වට්ටන්න. ඒ අනුව අපේ ආණ්ඩුව වැටුණා. අපිට තීන්දු කරන්න තිබුණා රාජ්‍යය වට්ටනවාද, ආණ්ඩුව වට්ටනවාද කියලා. අපි තීන්දු කළා ආණ්ඩුව අඩියක් පස්සට ගමු රාජ්‍යය ආරක්ෂා කරනවා කියලා. අපි රාජ්‍යය වැටෙන්න දුන්නේ නැහැ. ආණ්ඩුව පස්සට ගත්තා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමග අපි ආණ්ඩුවක් හැදුවා. අපි උපරිම සහාය ලබා දුන්නා. සමහර පෝලිම් ඉවත් වුණා. ඇතැම් පෝලිම් දික්වුණා. තෙල් පෝලිම ඉවත් වුණා. පාස්පෝට් පෝලිම දික්වුණා.




දරුවන් තවදුරටත් පාස්පෝට්, රියදුරු බලපත්‍රය, ජාතික හැඳුනුම්පත ගන්න පෝලිමේ ගිය යුගය අවසන් කළ යුතු වෙනවා. සැබෑ පෝලිම් යුගය අවසන් වන්නේ එවිටයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණ විප්ලවයක් අපි කළ යුතු වෙනවා. 2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ සංවර්ධනය නතර කළ තැනින් ඉදිරියට ගෙනයන්න නාමල් රාජපක්ෂ සූදානම් කියන පණිවුඩය ලබාදෙනවා.

ධම්මික ප්‍රේමරන්න