nishantha-speaks

මෙරට ජනගහනයෙන් සියයට පනස්දෙකක් වන කාන්තාවන්ට හොඳින්ම දැනෙන ලාංඡනය ගෑස් ටැංකිය බව බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවැසීය. පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ පසුගියදා(18දා) පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ වර්ණසිංහ මහතා මෙසේද කීය.



“අපේ බෞද්ධ සාහිත්‍යයේ කියන දෙයක් තමයි ගින්නක් ඇතිවුණහම, කවුද මේකට ගිනිකූර ගැහුවේ, කවුද මේකට පෙට්රල් වැක්කෙරුවේ සහ වග කියන්න ඕනේ කවුද කියලා හොයන්නේ නැතුව ඒක නිවන්න මුලින් කටයුතු කරන්න අවශ්‍යයි.

බෝධිසත්ව ගුණය කියන්නේ ඒකයි. මුලින් කරන්න අවශ්‍ය වෙන්නේ ගින්නට හසුවෙලා ඉන්න අයගේ ජීවිත බේරගන්න එකයි. ඒ බෝධිසත්ව චරිතයට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා පණ දුන්නේ. සමහර දේශපාලන නායකයන්ට ගෙදරින් එළියට බහින්න විදිහක් නැතුව හිටියා.

දැන් අද බංග්ලාදේශයේ පාරවල් පාලනය කරන්නේ අරගලකරුවන් විසිනුයි. පාර්ලිමේන්තු, අල්ල ගත්තා. අධිකරණයට අයින් වෙන්න කිව්වා. කිසිදු පාලනයකින් තොරව රට ක්‍රියාත්මක වෙනවා. අද අපේ රටේ දේශපාලන ස්ථාවර භාවය ඇතිවෙලා තිබෙනවා. අද දේශපාලනය කරන්න. පෙළපාළි යන්න. උද්ඝෝෂණය කරන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. පසුගිය කාල පරිච්ඡේදය තුළ ජනාධිපතිවරයා මර්දනයක් ක්‍රියාත්මක කරයි කියලා සමහර අය කියනවා. එක ජීවිතයක්වත් නමුත් විනාශ වෙලා තිබෙනවද කියලා

කියන්න. අතුරුදහන් වෙලා තිබෙනවද? ඝාතනය වෙලා තිබෙනවද? අවම බලය ක්‍රියාත්මක කරලා රට තුළ නීතිය ස්ථාපිත කළා.

ඒ වගේම රට තුළ තිබුණු සිංහල, දෙමළ, මුස්ලිම් වාර්ගික සහ ආගමික අස්ථාවරභාවය නැතිවෙලා තිබෙනවා. ඒ සමාජය තුළ තිබුණු ආතතිය පහවගොස් තිබෙනවා. පසුගිය කාලය තුළ කිසිම ආගමික නොසන්සුන්තාවක් ඇති වෙලා නැහැ. ඒ දේවල් සිදු කළේ මර්දනයෙන් නෙමෙයි. රට තුළ නියම පරිදි නීතිය ක්‍රියාත්මක කරලයි.

ඒ වගේම රට තුළ ආර්ථිකය සාමාන්‍යකරණයට ලක්වුණා. සාමාන්‍ය විදිහට ජනතාව ජන ජීවිතය පවත්වාගෙන යනවා. වෘත්තීය කටයුතු සිදු වෙනවා. වෙළෙඳාම් කටයුතු සිදු වෙනවා. ගොවිතැන් කටයුතු සිදු වෙනවා. ධීවරයන් ධීවර කටයුතු සිදු කරනවා. භාණ්ඩ හිඟයක් රට තුළ නැහැ. ජනාධිපතිවරයාට මේ රට කරගෙන යන්නට බෑ නැවත රට තුළ අරගලයක් ඇතිවෙනවායි කියලා බොහොමයක් දෙනා පුරෝකථනය කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන සාර්ථක වෙන්නේ නැහැ කියලා කිව්වා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක වුණා. බැංකු පද්ධතිය කඩා වැටෙනවයි කිව්වා. එහෙම වුණේ නැහැ. ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර සහයෝගය ලැබුණා.

ඒ නිසා නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයා විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙනවා.

පක්ෂ රාමුවෙන් ඔබ්බට හිතන එකම නායකයා ඔහු බව හොඳින් පැහැදිලි වෙනවා. එකම ජාතික නායකයා ඔහු පමණයි. මෙවැනි අර්බුදයක් කළමනාකරණය කළා කියන්නේම එය විස්මයජනක දෙයක්. පසුගිය කාලයේ ව්‍යසනයේ සංකේතය වුණේ ගෑස් ටැංකියයි. කුස්සියට ප්‍රශ්නය හොඳින්ම දැනුණේ ගෑස් ටැංකිය නිසයි. ඒ නිසා කාන්තාවන්ට වඩාත් සංවේදී දෙයක්. විශේෂයෙන්ම සීයට පනස්දෙකක් වෙච්ච

කාන්තා ජනගහනයට මේක හොඳින්ම දැනෙන ලාංඡනයක් බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාට සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සියලුම ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂවල සහයෝගය ලැබිලා තිබෙනවා.” ජනපති නොහිටියා නම් රට තවත් බංග්ලාදේශයක් වෙනවා. එක ජීවිතයක්වත් විනාශ නොකර රට ස්ථාවරත්වයට පත් කළා

අමිත් මධුරංග ගමගේ