onmax-dt-court

 “ඔන්මැක්ස් ඩී ටී”පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනය ප්‍රවර්ධනය කිරීම සදහා කටයුතු කළ රත්නවීර පටබැදීගේ දිනේෂ් චතුරංග නමැත්තා වහාම අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විවෘත වරෙන්තු නිකුත් කරමින් රහස් පොලිසියට ඊයේ (07) නියෝග කළේය.

නඩුවේ නව වැනි සැකකරු ලෙස දිනේෂ් චතුරංග නම් කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා ඔහු විදේශගත වී ඇති බැවින් ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු ලබාගැනීමට රතු නිවේදනද නිකුත් කළේය.


ඔන්මැක්ස් ප්‍රවර්ධනය කිරීමට සහාය දක්වා ඇති සැකකරුගේ බැංකු ගිණුම් වල රුපියල් මිලියන 340.9ක් තැන්පත් කර ඇති බවත්, බැංකු ගිණුම් දෙකක් මහාධිකරණය මගින් තහනම් කර ඇති බවත්, සැකකරු 2023 ජූලි මාසයේ 04 වැනිදා විදේශගත වී ඇති බවත් රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම විවෘත වරෙන්තුව නිකුත් කළේය.




අධිකරණයේ ඊයේ (7) පෙනී නොසිටි නඩුවේ තුන්වැනි සැකකරු වන සම්පත් සඳරුවන් නමැති අධ්‍යක්ෂවරයාට වරෙන්තු නිකුත් කිරීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී ඇපමත සිටින සැකකාර අධ්‍යක්ෂවරුන් සිවු දෙනෙක් අධිකරණයේ පෙනී සිටියහ.අතුල ඉන්දික, සාරංග රන්දික, ධනංජය ජයනාත්, ගයාෂාන් යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව රහස් පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කළේය.ගයාන් චාමර, මදුරංග ප්‍රසන්න හා කකබර් අස්ලම් යන සැකකරුවන් මෙරටින් පලාගොස් ඇති අතර ඔවුන්ට එරෙහිව අධිකරණය මීට පෙර විවෘත වරෙන්තු නිකුත් කර ඇත.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ සඳහන් කර සිටියේ අධිකරණයේ පෙනී නොසිටින සම්පත් සඳරුවන් නමැති “අධ්‍යක්‍ෂවරයා ඔන්මැක්ස් මුදල් යොදවා රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 16 ක් මිලදීගෙන ඇති බවය.


මෙම විමර්ශනය ආරම්භ කිරීමෙන් පසුව එම ඉඩම් 16න් ඉඩම් 12 ක් වෛද්‍යවරයකුට පවරා ඇති බවද සඳහන් කළේය.ඕපනායක පදිංචි යැයි කියන අමරසිංහ මුදියන්සේලාගේ සමන්ත කුලසිරි නමැති වෛද්‍යවරයා රුපියල් මිලියන 186.5කට එකම දිනකදී ඉඩම් දොළහ මිලදී ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත්,

වෛද්‍යවරයා රටින් පිටවිය හැකි බවට සාධාරණ සැකයක් ඇති බැවින් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.වෛද්‍යවරයා සැබැවින්ම එම ඉඩම් මිලදී ගත්තේද? එසේ මිලදීගෙන ඇත්නම් එම ඉඩම් ලබාගැනීමට වෛද්‍යවරයාට මුදල් ලැබුණේ කෙසේද? යන්න පිළිබඳව විමර්ශනය කරන බවත් රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් කරමින් ආගමන විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කළේය.


ඔන්මැක්ස් ප්‍රවර්ධනය කිරීම සඳහා සහාය දක්වමින් ජනතාවගේ මුදල් භාරගත්තේ යැයි කියන දිවුල්ගොඩ මානගේ මයුර දිල්ෂාන් නමැති අය නඩුවේ සැකකරුවකු ලෙස නම් කර නොමැති බැවින් ඔහුට එරෙහිව පවරා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන්නැයි කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.ජනතා මුදල් භාරගත් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බැවින් විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට නොහැකි බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. නීති විරෝධී ආයතනයක මුදල් යොදවා එය ලබා ගැනීමට මහ බැංකු පනතේ ප්‍රතිපාදන නැති වුවද අගතියට පත් තැන්පත්කරුවන්ට මුදල් ලබාදීමේ ක්‍රමවේදයක් ඇතිකර සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණය මගින් සිදුවන බැවින් නීතිය අතට ගෙන කටයුතු නොකරන ලෙස අගතියට පත් තැන්පත්කාර පාර්ශ්වයට මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ නියෝග නිකුත්  කරමින් විමර්ශන ප්‍රගතිය සැප්තැම්බර් 25 වැනි දින ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටියේය.
රෝෂන් තුෂාර