ජනපතිවරණ අපේක්ෂකයන් හය දෙනකු සම්මුඛ කරමින් ලබන සැප්තැම්බර් 7 වැනිදා මහජන සංවාදයක් සංවිධානය කිරීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය (පැෆරල්) තීරණය කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර
කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, සර්වජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ පාක්කිය සෙල්වම් අරියනේත්තිරන් යන අපේක්ෂකයන්ට මෙහිදී සංවාදයට ආරාධනා කිරීමට නියමිත යැයි පැෆරල් විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
ජන වරමක් සඳහා වූ ප්‍රධානතම සම්මුතිය ප්‍රකාශ වන ජනපති අපේක්ෂක ප්‍රතිපත්ති මාලාව ගැන වගකිවයුතු විවෘත හා සජීවී සාකච්ඡාවක් නිර්මාණය කිරීමේ අරමුණෙන් මෙම සංවාදය සංවිධානය කෙරෙන බවද හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
රූපවාහිනි නාළිකා කීපයක් හා ෆේස්බුක් ඔස්සේ මෙම සංවාදය සජීවීව විකාශය කිරීමට නියමිත බව කී හෙතෙම දැනටමත් අපේක්ෂකයන් දෙදෙනකු ආරාධනය පිළිගෙන ඇති බවද කීය. මෙම සංවාදය හරහා ජනතාවගේ මූලික ගැටලු සම්බන්ධයෙන් ජනවරමට අදාළ සම්මුතිය සකසා ගැනීමේදී සෞඛ්‍යසම්පන්න සංවාදයක් ගොඩනැඟෙනු ඇති බවද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
බිඟුන් මේනක ගමගේ
0 Comments