pallekele-incident

 මුදලට ක්‍රිකට් තරග පාවාදීමට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් ඉන්දීය පංජාබ් රෝයල් කණ්ඩායමේ කළමනාකාරවරයාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය රුපියල් එක්කෝටි දස ලක්ෂයක දඩයක්ද පැනවූවාය.විත්තිකරුට නියම කළ බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම වසර 10ක කාලයට අත්හිටුවීමට නියම කළ විනිසුරුවරිය විත්තිකරුට නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් අනිවාර්ය වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළාය.




පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති “ලෙජන්ඩ් ට්‍රෝෆි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට විදේශීය ක්‍රීඩකයන්ට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් ඉන්දීය පංජාබ් රෝයල් කණ්ඩායමේ කළමනාකාරවරයා වූ පෙචලෝඩියා ආකාශ් නමැත්තාට මෙලෙස දඬුවම් නියම කෙරිණ.


ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත නීතිගත කිරීමෙන් පසු පැවරූ පළමු නඩුවේදී චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුට මෙලෙස දඬුවම් නියම කළ අතර මුදලට තරග පාවාදීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට දකුණු ආසියාවේදී දඬුවම් නියම කළ මුල්ම අවස්ථාව මෙය බව සැලකේ.2024 මාර්තු මාසයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වූ "ලෙජන්ඩ් ට්‍රොපි 2024" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ස්ටඩ්ට සහ නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට බලපෑම් කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණ.




නඩුව විභාග කිර්මට කැඳවූ අවස්ථාවේදී විත්තිකරු චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා එක් චෝදනාවකට වසර දෙක බැගින් චෝදනා දෙකට වසර 04ක සිර දඬුවම් නියම කළ විනිසුරුවරිය දඬුවම වසර 10කට අත්හිටුවීමට නියම කළාය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥවරුන් වන සන්දීප්ත සූරියආරච්චි, වයි.ඩි ජයසේකර, ජනක මාරපන සමඟ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පෙනී සිටියේය.

බුද්ධිමාල් රුබේරු