payagala-incident

 පයාගල පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල්ගත කර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. පයාගල මලේගොඩ ප්‍රදේශයේ පදිංචි තරුෂ ජිනාල් නමැති පාසල් සිසුවෙකු මෙසේ රෝහල්ගත කර ඇතැයි පොලීසිය කීය.

අදාළ සිසුවා මිතුරෙකු සමග පෙරේදා (07දා) පස්වරුවේ පියාට අයත් යතුරුපැදියෙන් අසල ඇති වෙළෙඳ සැලකට ගොස් ඇති අතර, මිතුරා හෙල්මට් පැළද සිට නොමැති බව පොලීසිය සඳහන් කරයි.




ඒ බව දුටු පයාගල පොලිසියේ රථවාහන අංශ ජංගම නිලධාරීන් දෙදෙනකු ඔවුන් පසුපස ලුහුබැඳවිත් යතුරුපැදිය නවත්වා බැණ වදිමින් යතුරුපැදිය අසලට පැමිණ තිබේ. ඒ මොහොත වනවිටත් එන්ජිම ක්‍රියාත්මකව තිබී ඇති අතර, බියට පත් පාසල් සිසුවා යතුරුපැදිය පණගන්වා අසල පිහිටි ඥාති නිවසකට යතුරුපැදිය ධාවනය කර ඇති බව සඳහන් වේ.නැවත ඔවුන් ලුහුබැඳ පොලිස් නිලධාරීන් පසුපැදිකරු ලෙස සිසුවාට කනේ පහරක් එල්ල කර යතුරුපැදිය පැදවූ පාසල් සිසුවාට කනේ පහරවල් කිහිපයක් එල්ල කර ඇති අතර, ඒ මොහොතේ ඔහු බිම ඇදවැටී ඇති බව රෝහල් ගත සිසුවා පවසයි.




බිම ඇදවැටුණු පසුව පා පහරක් එල්ල කර බූට් සපත්තුවෙන් තුනටිය ප්‍රදේශයේ පාගා ඇති බවද සිසුවා වැඩිදුරටත් පැවසීය. පහරකෑමට ලක්වූ පාසල් සිසුවා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑ සිසුවාගේ පියා වන ඩබ්ලිව් .ඒ. අසංක යන අය කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් තමාගේ පුතාට මෙන් තවත් දරුවෙකුට මෙවන් අමානුෂික පහරදීම සිදු නොකිරීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඔහු ඉල්ලා සිටියි.
 සුමිත්  පොතූපිටිය