පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් දෙදෙනකුට තවත් සිසුන් පිරිසක් පහරදී එක් සිසුවකුගේ කනකට බරපතළ තුවාල සිදුකළ බව කියන සිද්ධියේ සිසුන් හතර දෙනකුගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අහෝසි කිරීමට විශ්වවිද්‍යාල විනය පාලක අංශය පියවර ගෙන ඇත.එම සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලක අංශය විසින් විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර පේරාදෙණිය පොලිසිය විසින් ද විමර්ශනයක් ආරම්භ කොට ඇත.
පහර කෑමට ලක්වූ සිසුන් දෙදෙනා නේවාසිකව සිටි අක්බාර් නේවාසිකාගාරයට ඇතුළු වී පසු ගිය 12 වැනිදා රාත්‍රි බරපතළ පහරදීමක් සිදුකොට ඇති බව කියන අතර පහර කෑමට ලක්වූ එක් සිසුවකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.පහර කෑමට ලක් වූ අනෙක් සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
පහරදීමට සම්බන්ධ බවට හඳුනාගත් සිසුන් හතර දෙනාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබා දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍ය භාවය අත්හිටුවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් සැකකාර සිසුන් පොලිසියට ඉදිරිපත් කරන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනයට දැනුම් දී ඇති බවත්ය. එම සිසුන් ව්‍යාජ නම් වලින් පෙනී සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම ප්‍රශ්නයක් වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
( ෂේන් සෙනෙවිරත්න)
0 Comments