piyuma-story

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති දොන් පියුම් හස්තික හෙවත් පියුමාට මීගමුව බන්ධනාගාරයේදී මරණ තර්ජන එල්ල වී නොමැති බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී ඇති හෙයින්, ලබන 28 වැනිදා තෙක් ඔහු සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (7) නියම කළාය.




අවි ආයුධ වෙළෙඳාමට ද, අපරාධ ගණනාවකට ද සම්බන්ධ බවට සැක කරන පියුමා නමැත්තාගේ මුදල් ඔහුගේ ගිණුම් විශාල සංඛාවක් හරහා සංසරණය වී ඇති බවට විශ්වාස කරන බව කියමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය, පියුම් හස්තික නමැත්තාගේ නමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු 5ක ඇති ගිණුම් පරීක්ෂා කිරීමට ද නියම කළාය. සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉවෝන් නිරාශා මහත්මිය කරුණු දක්වමින්, තම සේවාදායකයා මේ වන විට මාස 6ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හෙයින්, ඕනෑම කොන්දේසියක් යටතේ ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියාය. මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල සාමාජික හීනටියන මහේෂ් නමැත්තාගේ ගෝලයන්ගෙන් තම සේවාදායකයාට මරණ තර්ජන එල්ල වී ඇතැයි මෝසමක් මාර්ගයෙන් මීට පෙර අවස්ථාවකදී

අධිකරණයට දැනුම් දුන් නීතිඥ ඉවෝන් නිරාශා මහත්මිය, සැකකරුගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු මැගසින් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලීමක් ද කළාය.


පානදුර අධිකරණයෙන් නිකුත් කර තිබූ රතු වරෙන්තුවකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබ, ඔහු එහි සිට ලංකාවට රැගෙන එනු ලැබීය. අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කරමින්, දින 90 ක කාලයක් රැඳවුම් භාරයේ තබාගත් අතර, රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර, රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
(විමුක්ති එස්. රුද්‍රිගු)