අද (06) වන විට වාර්තාවන ජනපතිවරණ 2024ට අදාළ උණුසුම් පුවත් එකතුවක් පහතින් පළවේ.
  •  පවිත්‍රා රනිල්ට

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියත් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.ඒ අනුව, අද (06) දිනයේදී ඒ මහත්මිය මාධ්‍ය හමුවක් පවත්වමින් සිය තීරණය නිවේදනය කිරීමට

නියමිත බව වාර්තාවේ. ඇය මේ දක්වා උග්‍ර රාජපක්ෂවාදියෙකු ලෙස කටයුතු කළාය.

  • යෝෂිත රෝහිතත් රනිල්ට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් කඩා දැමූ ආකාරයටම රාජපක්ෂ පවුලත් කඩා දමා ඇතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
අද වනවිට බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ එක පැත්තක සිටින බවත් යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ සිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පැත්තේ බවත් හෙතෙම කියා සිටියි.ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

  • පැමිණිලි 99 ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කරන්නේ, ජුලි 31 වනදා සිට ඊයේ (05) පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බවයි.



  • ශ්‍රිලනිප අපැහැදිලියි

ඉදිරි මැතිවරණ රාජකාරී කටයුතුවලදී තමුන් කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමන පාර්ශ්වය සමගදැයි මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසා ඇත.මේ අනුව නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ලැබුණු වහා කොමිෂන් සභාව රැස්වී ඒ ගැන තීරණයක් ගෙන ඒ අනුව කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය සහ මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය වශයෙන් කොටස් තුනකට මේ වනවිට බෙදී පවතී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කර සිටින අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය.මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය ඉදිරිපත් කර ඇති ජනාධිපති අපේක්ෂකයා හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාය.

  • මනෝ, දිගම්බරන් සහ රාධ ක්‍රිෂ්ණන් සජිත්ට


මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබෙයි. දෙමළ ප්‍රගතිශීලි සන්ධානය අද (6) පැවැත් වූ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ අතර, ඊට එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මෙන්ම නියෝජ්‍ය නායකවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රි පී. දිගම්බරන් සහ වී. රාධ ක්‍රිෂ්ණන් ද එක්වුහ.

  • අනුර සටනට බසී

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබෙයි.
අද (06) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සිය පක්ෂයේ නීතිඥවරුන් සමග පැමිණ මෙලෙස ඇප මුදල් තැන්පත් කරනලදි.

  • මීඩියා වොටර්ස් ඒජ් ගෙන්නුවාට මර්වින්ගෙන් පැමිණිලි

ජනාධිපතිවරයා විසින් මාධ්‍යවේදීන් වෝටර්ස් එජ් හෝටලයට කැදවා අල්ලස් ලබා දීමට සූදානම් වන බව කියමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මැතිවරණ කොමිසමට පැමිණිලි කොට ඇත.
මෙය අල්ලස් දීමක් බවත්, වහාම මෙය නැවැත්විය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

  • විමල්ට අප්පොච්චි අඩගසලා

තමන්ට ද එක් එක් ’’අප්පොච්චිලා’’ ’’ඇමතිකම්-තාන්නමාන්න’’ සඳහා ඇරයුම් එවා ඇති නමුත් තමන් කිසිවිටෙකත් ’’තනතුරු පොදියට- ධන කුට්ටියට’’ රස වැටී තම ප්‍රතිපත්ති පාවා දී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා තිබේ.

  • පොහොට්ටු අපේක්ෂකයා හෙටලු


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා හෙට (07) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙයි.
ඒ අනුව හෙට පෙරවරුවේ සුබ මොහොතින් නෙළුම් මාවතේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේ සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බව මහලේකම් නීතීඥ සාගර කාරියවසම් සඳහන් කළේය.
මෙම අපේක්ෂකයා බොහෝ විට ධම්මික පෙරේරා වනු ඇති බව දේශපාලන ආරංචි හෙලි කරයි. කෙසේ වෙතත් අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට නිසි අවසරය නොලැබීම හේතුවෙන් එය පක්ෂ කාර්යාලය තුළ උත්සවශ්‍රීයෙන් සිදුකිරීමට සිදුවූ බව දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා පැවසීය.

  • පොහොට්ටුව සල්ලිකාරයන්ට කුලියට දෙන්න හැදුවෙ නැහැ

පොහොට්ටුව සල්ලිකාරයින්ට කුලියට දෙන්න බදු දෙන්න හෝ විකුණන්න සුදුසු පක්ෂයක් නොවෙි යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබේ.ජනාධිපති රනිල් ට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී  ඔහු මේ බව කියා සිටි අතර පොහොට්ටුව යනු මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හදපු පක්ෂයක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කිරීමට කටයුතු නොකළ බවත් වැඩිදුරටත් කීය.

  • නාමල් කමිටුවකින් ඉවත්වේ

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

  • ඔළුව නරක් වෙච්ච අය ජනපති වෙනවා

දැන් ඔළුව නරක් වෙච්චි අයත් ජනාධිපතිවරණෙට ඉල්ලන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.තමන් ජනාධිපති, අගමැති, අහවල් දේශපාලන පක්ෂයේ මහ ලේකම්,අහවල් පක්ෂයේ සභාපති කියා හිතන ඔලුව අවුල් වෙච්ච මිනිස්සු ටිකක් රටේ සිටින බව කී අමාත්‍යවරයා ඔවුන් මානසික රෝහලේ සිටිය යුතු පුද්ගලයන් බව කීය.එමෙන්ම  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම හා තනතුරු අවභාවිතා කරමින්  කටයුතු කරන පිරිසකුත් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

  • ළඟදී පාර්ලිමේන්තු පිල් මාරුවක්

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කිරීමත් සමඟින් එම පක්ෂයේ දෙකඩ වීම මත ඊළඟ පාර්ලිමේන්තු සැසිය තුළ පිල් මාරු කිහිපයක් බලාපොරොත්තු වන බව දේශපාලන ආරංචි හෙලි කරයි.  මන්ත්‍රීවරු විස්සකට පමණ ආසන්න පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට ඉඩ ඇති නමුත් මේ දක්වා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය දැනුවත් කර නැත.

  • කැබිනට් සහ පළාත් ප්‍රධාන ලේකම්වරු මැකො හමුවේ


සියලු කැබිනට් සහ පළාත් ප්‍රධාන ලේකම්වරු අද (06) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.
මැතිවරණය ඉලක්ක කරගෙන රාජ්‍ය දේපොළ අවභාවිතය ගැන පැමිණිලි රැසක් ලැබී ඇති අට්‍ර්හ මේ සම්බන්ධයෙන් උක්ත ලේකම්වරු සමඟ මැතිවරණ කොමිසම සාකච්ජා කිරීමට නියමිතයි.
මේ අතර අමාත්‍යාංශවල දේපොළ භාරව සිටින අතිරේක ලේකම්වරුන් සහ ඒවා භාරව සිටින නිලධාරීන්ද,රාජ්‍ය සංස්ථාවල සභාපතිවරුන් ද අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.




  • ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම්

පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි. අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හා මුද්‍රණය කරනු ලබන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම ඊට හේතුව බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රජයේ මුද්‍රණාලය සතු මුද්‍රණ යන්ත්‍රවලින් මුද්‍රණය කළ හැක්කේ උපරිම අඟල් 26 කින් යුක්ත ඡන්ද පත්‍රිකා බවත් එහි සඳහන් කළ හැක්කේ අපේක්ෂකයන් 36 දෙනෙකුගේ නම් පමණක් බවත් කියැවෙන අතර අපේක්ෂයන් ගණන 36 ට වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාව දිග වැඩි වීමෙන් මුද්‍රණ වියදම් තවත් ඉහළ යාහැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

  • එක්කෝටි හැත්තෑ හත් ලක්ෂයක් ඡන්දෙ දානවලු


මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම  සඳහා ඡන්දදායකයන් එක් කෝටි හැත්ත එක් ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක් (17,140,354) සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ දිස්ත්‍රික්ක 22 සැලකීමේදී වැඩිම ඡන්දදායකයන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් දහඅට ලක්ෂ අසූඑක්දහස් එකසිය විසිනවයක් (1,881,129) සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.