පසුගිය ජනාධිපතිවරණ කිහිපයකදීම එක්සත් ජාතික පක්ෂයත් එහි සලකුණ වූ අලියා ලකුණත් ඡන්ද පත්‍රිකාවේදී දකින්නට ලැබුණේ නැත. ඒ වෙනුවට එජාපය වරෙක සරත් ෆොන්සේකා මහතාගේ හංසයා ලකුණට සහයෝගය ලබා දුන්නේය. පසුගිය ජනාධිපතිවරණයේදීද එක්සත් ජාතික පක්ෂය සහය ලබා දුන්නේ එම පක්ෂයේම නියෝජ්‍ය නායකයාවූ හංසයා ලකුණෙන් තරග කළ සජිත් ප්‍රේමදාස මහතාටය. ඒ වන විට සජිත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වුවද ජනාධිපතිවරණයට තරග කිරීමට ඔහු තෝරා ගත්තේ වෙනත් අයකුගේ පක්ෂයක් සහ ලාංඡනයකි.
මෙවරද එජාපයේ අලියා ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ දී දකින්නට නොලැබෙනු ඇත. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් මෙවර තරගයට ඉදිරිපත්ව සිටී.මෙවර ජනාධිපතිවරණයේ තවත් විශේෂත්වයක් වන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී හැටනව ලක්ෂයක ජනතා කැමැත්ත පොහොට්ටුව ලකුණින් යුත් පොදු ජන පෙරමුණ මේ වන විට සීසීකඩව කැඩීබිඳීමකට ලක්වී තිබීමය. පොදුජන පෙරමුණේ ප්‍රබල මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමට ඉදිරිපත් වී සිටීම නිසා අද පොදු ජන පෙරමුණ පාලු ස්වරූපයක් ගෙන තිබේ.
පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපති අපේක්ෂකයා වී සිටින්නේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ වීමද විශේෂත්වයකි. ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂක ඉලක්කය වී තිබුණේ ධම්මික පෙරේරා මහතා වුවත් ඔහු පසුව එයට අකැමැත්ත ප්‍රකාශ කිරීම නිසා නාමල් රාජපක්ෂ මහතාට එම වගකීම භාරගැනීමට සිදුවූ බවක්ද පෙනෙන්නට තිබේ.
මෙවර ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ නම් වූ රාජපක්ෂ පවුලේ දේශපාලන උරුමක්කරුගේ අනාගත දේශපාලන පැවැත්ම පිළිබඳව තීරණයකට පැමිණිය හැකි බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. එපමණක් ද නොව පොදුජන පෙරමුණ නම් වූ පොහොට්ටු දේශපාලනයේ අනාගතයද මෙවර ජනාධිපතිවරණයේ දී තීන්දුවන බව බොහෝ දෙනකුගේ මතය බවට පත්වී ඇත.
ලංකා දේශපාලන ඉතිහාසයේ ශක්තිමත් අයුරින් ජනතා ප්‍රසාදය දිනා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද ලබා ඇත්තේ සෙනසුරු දසාවකි. සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ රැකවරණය යටතේ පෝෂණය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත සලකුණේ ඇඟිලි මේ වන විට ගැලවී යාමට පටන්ගෙන තිබේ. 1959 දී බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි කුමන්ත්‍රණ කරුවන් විසින් මරා දැමුවද, පක්ෂය මරා දැමීමට නොහැකි විය. එහෙත් 2015 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා එවර ජනාධිපතිවරණයේදී එවකට පක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව හංසයා සලකුණින් තරග කිරීම නිසා පක්ෂයේ කඩා වැටීම ආරම්භ වූවේය. එතැනින් ආරම්භ වූ පක්ෂයේ කඩා වැටීම මේ වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂය නන්නත්තාර කිරීමට සමත් වී තිබේ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සොයා ගැනීමට නොහැකි තත්වයකට පත් වී තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අත ලකුණත් පවතින්නේ උසාවියේය. පක්ෂයට උරුමකම් කියන්නෝ බොහෝය. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පත්‍රිකාවෙන් අත ලකුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන නාමයත් ගිලිහී ගොස් තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි නායකයන් මෙවර මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වී තිබීමෙන් පැහැදිලි වන්නේ ජනාධිපති තරගයෙන් ගිලිහී යන දේශපාලන පක්ෂ සමූහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක්වී ද ඇති බවකි. එයට නිදසුනක් වන්නේද අධිකරණ කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පක්ෂයේ නායකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වී ප්‍රකාශ කළද ඔහු අදි තරග වදින්නේ වෙනත් පක්ෂයක් වන ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සාමාජිකයකු ලෙසින් වීමය. වත්මන් ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිවරයාව සිටි රොෂාන් රණසිංහ මහතාද මෙවර ජනාධිපතිවරණයේ තවත් එක් අපේක්ෂකයෙකි.
මෙවර ජනාධිපතිවරණයේ සමගි ජනබලවේගයද අර්බුදකාරී තත්වයකට මුහුණ දී සිටින බවක් පෙනෙන්නට තිබේ. එක්සත් ජාතික පක්ෂයටත් විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාටත් විරුද්ධව ගොඩ නැගුණු සමගි ජන බලවේගය ද මේ වන විට අනිකුත් දේශපාලන පක්ෂ මෙන්ම දෙදරීමකට ලක්වී තිබේ.එම පක්ෂයේ ආරම්භක සභාපතිවරයා වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ නායකත්වය සමග ඇති වූ ගැටීමක් නිසා පක්ෂයෙන් සහ පක්ෂ සභාපති ධුරයෙන් ඉවත්වී තිබේ. මෙම ජනාධිපතිවරණයේදී සජිත්ට එරෙහිව කිරීමට ඔහු ද නාම යෝජනා බාර දී අවසන්ය. එයද සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ගැටීමක් නිසා මෙවර ජනාධිපතිවරණය අබියසදී සිදු වූ තවත් සිදුවීමක් ලෙස සැලකේ.
පක්ෂය ආරම්භ කිරීමට උරදුන් දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුළු තවත් පිරිසක් සමගි ජන බලවේගය අතහැර ගොසින්ය. ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයට එක්වී තිබේ. දේශපාලන ආරංචි මාර්ග පවසන අන්දමට එම පක්ෂයේ තවත් ප්‍රබල පිරිසක් පක්ෂය හැරයාමට සූදානමින් සිටිති. වර්තමානයේදී ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සලකුණ වූ සීනුව මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පත්‍රිකාවෙන් හැලීගොස් තිබේ. 1982 ඔක්තෝබර් 20 වැනිදා පැවති ප්‍රථම ජනාධිපතිවරණයේ දී පක්ෂයේ නායකයා වූ රෝහණ විජේවීර මහතා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ලෙසින් තරග වැදුණේය. ඔහු ඡන්ද 2,73,428 ක් හෙවත් 4.19 ක ප්‍රතිශතයක් ලබා ගත්තේ තුන්වැනි ස්ථානය ලබාගනිමින්ය.
ඉන්පසුවත් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණ කිහිපයකටම තරග කළද, ඔවුන් ජනාධිපතිවරණ කිහිපයකදීම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටත්, මහින්ද රාජපක්ෂ මහතාටත්, මෛත්‍රීපාල සිරිසේන මහතාටත් සක්‍රීය සහයෝගය ලබා දුන්නේය. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පැරණි ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු වූ අනුර කුමාර දිසානායක මහතාම වුවත් ඔහුගේ පක්ෂයද සලකුණ ද වෙනස්කර තිබේ. රෝහණ විජේවීර සහෝදරයාගේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබල බලවේගය නමින් ද සීනුව මාලිමාව ලෙසින්ද සංශෝධනයකට ලක්වී ඇත.
දේශපාලන භුමියේ තවත් පැරණි දේශපාලන පක්ෂයක් වූ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජනප්‍රිය සලකුණ වූ තරුව ලකුණත්, කොමියුනිස්ට් පක්ෂයත් මෙවර ජනාධිපතිවරණයේ දී තරග කරන දිලිත් ජයවීර මහතාගේ ඡන්ද ලකුණ බවට පත් වී ඇත. 1956 දී ප්‍රථම වරට දේශපාලන පක්ෂ සහ ලකුණු ලියාපදිංචි කිරීමේ දී ලියාපදිංචි කරන ලද පක්ෂ පහ අතර මුල් තැන ලබා සිටි කොමියුනිස්ට් පක්ෂය සහ එහි තරුව ජනාධිපතිවරණ ආරම්භයේ සිටම ඡන්ද පත්‍රිකාවේ නොතිබුණ ද, මෙවර ඡන්ද පත්‍රිකාවට ඇතුල් වී තිබීම ද කැපී පෙනෙන විශේෂත්වයකි.
2019 පැවති ජනාධිපතිවරණයේ දී අපේක්ෂක සංඛ්‍යාව 35 ක් වුවත් මෙවර සමස්ත අපේක්ෂකයන් ගණන 39 ක් දක්වා වර්ධනය වී තිබේ.කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේ දී විවිධ දේශපාලන සන්ධාන විවිධ නම් වලින් කලඑළි බැස ඇති බවක් පෙනෙන්නට තිබේ. මේ නිසා බොහෝ දේශපාලන පක්ෂවලට ඡන්ද පත්‍රිකාවෙන් තාවකාලිකව විවේක ගැනීමට සිදු වී තිබීමද විශේෂත්වයකි. මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව ඉදිරියේ රඟන්නේ දේශපාලන පක්ෂ නොව දේශපාලන සන්ධාන බව අමතක නොකළ යුතුය.
ගාමිණී පරණයාපා
0 Comments