political-week

ජනාධිපතිවරණ සටන දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ. තමන්ගේ ගොඩ වැඩි කරගැනීමේ මෙහෙයුම් සෑම පාර්ශ්වයක්ම වේගවත් කර තිබේ.

“තවත් දවස් 20කට වැඩියෙන් තියෙනවා. අපිට මේ කාලය හොඳටම ඇති." ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවැසුවේ නෙළුම් මාවතේ පොහොට්ටු පක්‍ෂ කාර්යාලයේදීය.



“සමහරු දැනටම ජනාධිපති වෙලා ඉවරයි. ඒක හින්දා මරු කියවනවා. බලන්න නාමල් මන්ත්‍රීතුමා කාගෙවත් නමක් ගමක් සඳහන් කරන්නේ නෑ. ඒ වුණාට තිතට කතාව දෙනවා. ගමේ මිනිස්සු ආදරේ එහෙම අයට. ඒ ආදරේ දැන් සම්පූර්ණයෙන්ම තියෙන්නේ නාමල් මන්ත්‍රීතුමාට" එහෙම කිව්වේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩය.

“ගිය අය ආවොත් ගන්නවා කියන එකට මම විරුද්ධයි. මහින්ද මහත්තයාගේ පිටට පිහියෙන් ඇනලා ගිය අය ආපසු ගත්තොත් මම එක තත්පරයක් පක්‍ෂයේ ඉන්නේ නෑ. මම මේ කියන්නේ පාක්‍ෂිකයෝ ගැන නොවෙයි, මහින්ද සර්ගේ ෆොටෝ එක ගහගෙන පාර්ලිමේන්තුවට ගිය අය ගැනයි.” අම්පාරේ වීරසිංහ මන්ත්‍රීවරයා කතා කළේ මහත් ආවේගයෙනි.



“අපෙන් ගිය කවුරුවත් වැඩෝ නොවෙයි. අඩුම තරමින් ඡන්ද දහයක්වත් සොයා ගන්න බැරි අය. ඒ අය ගියා කියලා පක්‍ෂයට ශත පහකින්වත් පාඩුවක් නෑ." මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කිව්වේ එහෙම කතාවකි.

“ නාමල් සර් කළුතර ගිය වෙලාවේ අපේ නායක හාමුදුරුවෝ කරපු ප්‍රකාශය මතක ද? දිස්ත්‍රික් නායකයෝ කියලා හිටපු අය පක්‍ෂයට කරලා තියෙන හානිය ඒ කතාවෙන්ම ඔප්පු වෙනවා." මන්ත්‍රී සංජීව එදිරිමාන්න කීවේය.


තලතා අතුකෝරළ පාර්ලිමේන්තුව තුළ උණුසුම්

කතාවක් කර කියා සිටියේ, තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී පක්ෂයෙන් ද ඉවත් වන බවය. මන්ත්‍රී තලතා අතුකෝරළ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව නිර්දය ප්‍රහාරයක් එල්ල කළාය. “පක්‍ෂ නායකතුමාට ඉවසීම නෑ." ඇය කෙළින්ම කීවාය.


“ඔය කිව්වට තලතා ෂුවර් නෑ. එයා මන්ත්‍රීකමත් එක්කම යූ.එන්.පී.යට යයි. ඔයා පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න එයා අස්වීමේ ලියුම දෙනවා ද කියලා." සමගි ජන බලවේගයේ ප්‍රබලයකු එසේ කිව්වේ තරුණ මන්ත්‍රීවරයකුටය.

“ සර් බය වෙන්න එපා. මම ඕක සර්ටත් කලින් හිතුවේ. තලතා මන්ත්‍රීතුමිය යන්නේ පක්‍ෂයේ ප්‍රතිපත්ති වැරැදි නිසාවත්, අපේ නායකතුමා වැරැදි නිසාවත් නොවෙයිනේ. එයාට තියෙන්නේ හේෂා එක්ක ප්‍රශ්නයක්. අනික එතුමිය දන්නවා ඊගාව පාර පාර්ලිමේන්තුවට එන්න බෑ කියලා. එයාට හේෂා එක්ක තියෙන ප්‍රශ්නයත් ඒකයි." තරුණ මන්ත්‍රීවරයා කීවේය.


එතැන් සිට එම මන්ත්‍රීවරයාගේ ජොබ් එක වූයේ, පාර්ලිමේන්තුවේ අදාළ අංශය සමග ඍජු සම්බන්ධතා පැවැත්වීමය.


“සර්, තවම ලෙටර් එක දීලා නෑ." තරුණ මන්ත්‍රීවරයා ස.ජ.බ. ප්‍රබලයාට කීවේය.

“අපි හෙට දවසෙත් බලමු.” ප්‍රබලයා එවිට කීවේය.



පසු දින ද ගෙවී ගියේය. එහෙත්, තලතා ලියුම භාර දී තිබුණේ නැත.

“සර්, ඩබල් ඇක්‍ෂන්. අදත් ලියුම නෑ." තරුණ මන්ත්‍රීවරයා කීවේය.

“හරි, එහෙනම් ඔයා ඕක දැන්ම මීඩියා එකට ලීක් කරන්න." ප්‍රබලයා කීවේය. තරුණ මන්ත්‍රීවරයා එය අකුරටම ඉටු කර තිබිණි.

“නාමල් සර්, මාර ප්‍රශ්න. ඡන්ද පත්‍රිකාවේ නාමල් රාජපක්‍ෂ දෙන්නෙක්ම ඉන්නවා. මිනිසුන්ට මේක පැටලෙයි." පක්‍ෂ කාර්යාලයේදී නාමල් රාජපක්‍ෂට එහෙම කිව්වේ තරුණයෙකි.

“අපේ ජනතාව දැන් ගොඩක් බුද්ධිමත්. ඕවාට රවටන්න බෑ. ඔය මනුස්සයා ගිය පාරත් ඉල්ලුවා. එයා කරන්නේ කොන්ත්‍රාත් එකක්." නාමල් රාජපක්‍ෂ කීවේය.

“ඒ වුණාට සර්, එයා ඉල්ලන කොට හිටියේ මහින්ද සර්, නැත්නම් ගෝඨාභය සර්. ඒත් මේ පාර ඉන්නේ සර්. මේක ප්‍රශ්නයක්." තරුණයා වැඩිදුරටත් කීවේය. නීතිඥ නාමල් රාජපක්‍ෂ සමාජ ක්‍රියාකාරිකයෙකි. ඔහුගේ නමත්, පොහොට්ටුවේ නාමල් රාජපක්‍ෂගේ නමත් ඡන්ද පත්‍රිකාවේ තිබෙන්නේ එකිනෙකට ආසන්නවය.


"මම ප්‍රවෘත්ති නිවේදනයක් දාලා ජනතාවට කියන්නම්, නමත් එක්කම ලාංඡනයත් බලලා ඡන්දෙ දාන්න කියලා." නාමල් කීවේය.

එම ප්‍රවෘත්ති නිවේදනය ඉකුත් දා මාධ්‍යයට නිකුත් කර තිබිණි.

පක්‍ෂ මාරු කිරීම් සම්බන්ධ සැක සංකා හැම තැනම තිබේ. තලතා අතුකෝරළ මන්ත්‍රීවරිය පක්‍ෂයට ආයුබෝවන් කීමත් සමග සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තවත් තිදෙනකු දෙසට සැකය එල්ල වී තිබේ. ඉන් මන්ත්‍රීවරුන් දෙදෙනකුම ගම්පහ දිස්ත්‍රික්කයේය. අනෙක් මන්ත්‍රීවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයේය.

“කුරුණෑගල ප්‍රශ්නය නම් විසඳුවා." විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට කියා තිබේ.

“ගොඩක් දෙනකුට තියෙන්නේ මනාප ප්‍රශ්න. ඒකයි මේවා ලෙහා ගන්න අමාරු වෙලා තියෙන්නේ." රංජිත් මද්දුම බණ්ඩාර පෙරළා පවසා තිබේ.

ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කටයුතු තවදුරටත් ගම් මට්ටමට ගෙන යා යුතු බවට, එක්සත් ජාතික පක්‍ෂය හා ජනාධිපතිවරයාට සහාය දක්වන අනෙකුත් පාර්ශ්ව ඉකුත් සතියේදී දීර්ඝව සාකච්ඡා කළහ.

“අපි පුළුවන් තරම් ප්‍රචාරක වැඩ ගමට ගෙනියන්න ඕනෑ. මම දැනටමත් ගම්පහ වැඩ පටන්ගෙන තියෙන්නේ." ඇමැති ප්‍රසන්න කීය.

“ඔව්. අපි මේ වෙලාවේදී කතා කරන්න ඕනෑ ගමේ මිනිස්සුන්ට. පක්‍ෂ විපක්‍ෂ හැම කෙනා එක්කම අපි කතා කරන්න ඕනෑ. එක්කෙනෙක්වත් මගහරින්න නරකයි." හිටපු ඇමැති මනුෂ ද කතාවට හවුල් විය. “අලුත් ආදර්ශයක් දෙන්නත් එක්ක පොහොට්ටුවේ අපියි, එක්සත් ජාතික පක්‍ෂයේ අයයි එකටම ගමට යමු. මේ සමගිය ගමට ගෙනියමු.” ඇමැති ප්‍රසන්න කී කතාවට සියල්ලන්ගේම අනුමැතිය හිමි විය.




ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන ක්‍රියාකාරින් හමුව ඉකුත් සති අන්තයේදී පැවැත්විණ. ඇමැති රමේෂ් පතිරණ, මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු ඇමැති මනුෂ නානායක්කාර මේ සඳහා සහභාගි වූහ. ජනාධිපතිවරයාගේ ප්‍රචාරක වැඩ ගමට ගෙන යාම පිළිබඳව සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ඉකුත් දා කතාබහ කෙරිණ. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු ඇමැති මනුෂ නානායක්කාර, පක්‍ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ප්‍රධාන විධායක නිලධාරි ශ්‍යාමල් සෙනරත් මේ සඳහා සහභාගි වූහ. එහිදී මනුෂ ප්‍රචාරක වැඩපිළිවෙළ ගැන කරුණු දැක්විය.


“අපි ගාල්ලේ වැඩේ පටන්ගෙන ආසන ක්‍රියාකාරින් හමු වුණා. ඡන්දපොළ නියෝජිතයන් එක්කත් කතා කළා. පොඩි පොඩි රැස්වීම් සෑහෙන ප්‍රමාණයක් දැනටමත් කරලා ඉවරයි. ප්‍රසන්න ඇමැතිතුමත් ගම්පහ ඒ වගේම වැඩ ටික කරගෙන යනවා. කංචන, මහින්දානන්ද ඇතුළු අනෙක් ඇමැතිවරු ටිකත් වැඩ කරගෙන යනවා. ඒවාට හොඳ ප්‍රතිචාර තියෙනවා.” හිටපු ඇමැති මනුෂ දීර්ඝ විස්තරයක් කරමින් කීය.


එක්සත් ජාතික පක්‍ෂ පාර්ශ්වයෙන් ගම් මට්ටමින් ක්‍රියාකාරින් හමු වීම පිළිබඳ වැඩපිළිවෙළ සැකසීම හිටපු ඇමැති මනුෂට භාර විය.


ඒ අනුව, එ.ජා.ප. නියෝජිතයන් මේ සතියේ සිට ගමට ගොස් ජනතාව හමු වීමටත්, ඡන්දපොළ නියෝජිතයන් හමු හමු වීමටත් තීරණය විය.සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කර ඇති බව, දේශපාලන ආරංචි මාර්ග පවසයි.


ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන්ව ඇති අතර, නුදුරු දිනයකදී එම පිල් මාරුව සිදු වනු ඇතැයි ද වාර්තා වේ.


සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ඉකුත් දා පවත්වා තිබේ. ඒ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි. ආසන සංවිධායකවරුන්ට අමතරව සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වන පාර්ශ්වයන් ද මෙම අවස්ථාවට එක්වී තිබේ. දයාසිරි ජයසේකර, ඩලස් අලහප්පෙරුම, චම්පික රණවක, රිෂාද් බදියුදීන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.


මෙම සාකච්ඡාව සුම් තාක්‍ෂණය ඔස්සේ පවත්වා තිබේ. පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ආසන සංවිධායකවරයෙක් එක්වරම කියා සිටියේ, “දහම් සිරිසේන එන්න අහනවා. හැබැයි එයා ගන්නවාට අපි විරුද්ධයි.” කියාය. දහම් සිරිසේන යනු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයාය. මෙම ප්‍රකාශයට දයාසිරි ජයසේකරට හොඳටම කේන්ති ගියේය.


“මම මෛත්‍රී පිලේ නොවෙයි. එහෙත් මට කෙළින් කියන්න, මේ ජයග්‍රහණයට අපේ ඡන්ද ඕනෑ ද නැද්ද කියලා. අපේ ඡන්ද ඕනෑ නැත්නම් අපි පැත්තකට වෙන්නම්." දයාසිරි කීවේය.

“ඒක මම දන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජනවරමක් තියෙනවා. ඒ ඡන්ද ඕනෑ ද නැද්ද, මේ වෙන වෙන මාතෘකා දාලා කරන්නේ අපට ගහන එකයි.”ඒ සමගම ප්‍රශ්නයට මැදිහත් වූයේ, සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම  බණ්ඩාරය.

" ඕවා මෙතැන කතා කරන්න එපා. ඕවා කතා කරන්න තැන් තියෙනවා. අපි අද රැස් වුණේ ඉලෙක්‍ෂන් එක ගැන කතා කරන්නයි." රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.


එහෙත්, දයාසිරි නිහඬ කරවීම පහසු වූයේ නැත.


“අපි මෙතැනට ඇවිත් ඉන්නේ අවංකවමයි. අපට ඕනෑ මේ ඡන්දය දිනන්නයි. ඒකට හැම ඡන්දයක්ම අවශ්‍ය වෙනවා.” ඒ සමගම වෙනත් මාතෘකාවක් ඇදී ආ හෙයින්, එම සංවාදය නතර විය.


පන්දමා