ලබන මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් දුසිම් දෙකකට වඩා ඉදිරිපත් වන නමුත් ජනාධිපති පුටුවෙහි අසුන්ගත හැක්කේ එක් අයකුට පමණි. දැනට ඒ සදහා පෙරටුවෙන් ඉන්නා දෙන්නා තුන් දෙනාගෙන් “වඩා සුදුස්සා තෝරා ගත හැක්කේ කෙසේද? නැතිනම් තේරිය යුත්තේ කෙසේද?" යන්න පිළිබඳව මේ සමාජයේ විශේෂයෙන් තරුණ පරපුර අතර ඇත්තේ අනාගත දැක්මක් නොමැති, අතීතය වෙනුවෙන් වන පුද්ගලවාදී උත්තර බැඳීමකි.
ඔවුන් අතීතයෙහි රැඳෙන්නේ වර්තමාන නායකයන්ට දොස් කීමට මිස, අතීත සමාජ බලපෑම් වර්තමාන දේශපාලනය හැඩගැසීමේ නිශේධාත්මක සාධකයක් ලෙස පැවතීම ගැන කතා කිරීමට නොවේ. එබැවින් එවැනි අතීත සමාජ බලපෑම් සමගින් වන මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ගුණ දොස් ඇගයුමට පය තබන්නට පෙර, අපගේ දේශපාලනයේ විකාශනය ගැන මතක් කිරීමක් කළ යුතු යැයි සිතුවෙමි. මේ සමාජයේ තවමත් ජනාධිපති ධුරයට, මන්ත්‍රීකමට සුදුස්සා තෝරන ක්‍රමය අවුරුදු 90 ක පාරම්පරික සම්මත, සමාජ පිළිවෙත් සමගින් සිදුවන්නකි. විවෘතව කතා නොවුණත් කුලය පවා අදටත් ඡන්දය දීමේ එක් සාධකයකි. ඒ ඉතිහාසයෙහි නිදහසින් පසු පළමු දශකයේ ප්‍රධාන දේශපාලන පක්ෂ තහවුරු වූයේ කන්ද උඩරට රාජ්‍යයේ ඉතිරි වූ ප්‍රභූ පෙළැන්තියේ නායකත්ව ආධිපත්‍යය සංකේතවත් කරමින්ය. බෝතලේ වලව්ව, හොරගොල්ල වලව්ව සහ හොරගොල්ලට රත්වත්තේ වලව්වත් හවුල්කර ගනිමින් හැදුනු සමගින් ය.
1960 මාර්තු මැතිවරණයෙන් ශ්‍රී.ල.නි.පට ජය ගත නොහැකි වූයේ ඔවුන් බලපිටියේ සී.පී. ද සිල්වාගේ නායකත්වයෙන් බෝතලේ වලව්වේ ඩඩ්ලි සේනානායකට අභියෝග කිරීමට ගොසින් යැයි ශ්‍රී.ල.නි.ප නායකයන් කිහිප දෙන, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඔසවා ගෙන පැමිණියේ 1960 ජුලි මැතිවරණයට ඇය පක්ෂ නායිකාව ලෙස තබා ගැනීමට ය. ඉන්පසු අනුරුද්ධ රත්වත්තේ, කොබ්බෑකඩුව වැන්නන්ගේ පැමිණීම සමග 70 දශකය වන විට කොළඹ දේශපාලන කවවල කතා වූයේ “කේ.ජී.බී" (කන්ද උඩරට, ගොවිගම, බෞද්ධ) ආධිපත්‍යයක් ගැනය. ඒ යුගයට පෙරාතුවම ප්‍රධාන වමේ පක්ෂවල පවා ජාතික නායකත්වයට ඔසවනු ලැබුවේ උගත් ගොවිගම දේශපාලකයෙකි.
එවැනි පෞරාණික සම්මතයන් කඩන්නට තරම් දේශපාලන අධිෂ්ඨානයක්, ධෛර්යයක් තිබූණේ එ.ජා.පයේ රණසිංහ ප්‍රේමදාසට ය. එහෙත් එ.ජා.ප නායකත්වයට ජනාධිපති ජයවර්ධනගේ තේරීම වූයේ තමන්ගෙන් පසු කන්ද උඩරට වලව්කාර ගාමිණී දිසානායක ය. ප්‍රේමදාසගේ වාසියට සිටියේ දිසානායක අනන්‍යවූ කොළඹ ස්ථාවරව සිටි ලොකු ව්‍යාපාරිකයන්ට වඩා ජයවර්ධන යුගයේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයෙහි අලුතින් බිහි වූ ජාවාරම්කාර වෙළඳ පෙළැන්තිය ඔවුන්ට ගැළපෙන දේශපාලන නායකත්වයක් ලෙස ප්‍රේමදාස තෝරා ගැනීමය. අගමැති ප්‍රේමදාස පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමති වශයෙන් යොමු වූයේද විශේෂයෙන් ග්‍රාමීය ප්‍රභූ පෙළැන්තියේ පීඩනයට හසුව තිබූ සමාජයේ පහළ ස්ථර ආමන්ත්‍රණය කිරීමටය. ඔහුගේ උදාගම් ව්‍යාපෘතිය ඊට හොඳම නිදසුනය. පළමු “උදාගම” වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් යාපහුව මැතිවරණ ආසනයේ “බඩල්ගම”ය. ඉන්පසුවද උදාගම් ඉදිවූයේ එවැනි දුප්පත් පීඩිත ගම්වලය.
එහෙත් ශ්‍රී.ල.නි.ප නායකත්වයට ඒ කිසිත් එතරම් අදාළ නොවුණි. එය ග්‍රාමීය සිංහල- බෞද්ධ පහළ මැදපන්තියේ දේශපාලන පක්ෂය ලෙස හොරගොල්ල වලව්වේ බුක්තියට ලියවුණක් විය. ඒ වලව්වට අයත් තම පවුලේ පක්ෂය ගරහමින්, ඊට විරුද්ධව විජය කුමාරණතුංගගේ නාමය සමග 1982 දී ශ්‍රී ලංකා මහජන පක්ෂය හදාගත් චන්ද්‍රිකා කුමාරණතුංග, නැවත 1992 දී බණ්ඩාරනායක මැතිනිය විසින් ශ්‍රී.ල.නි.ප නායකත්වයට ගෙනෙන්නේ ශ්‍රී.ල.නි.ප ඇයගේ පවුලේ පක්ෂය ලෙස පැවතිය යුතුයැයි විශ්වාස කළ හෙයිනි.
විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙන් බිහිවූ ජාවාරම්කාර පෙළැන්තියේ හයිය සමග එ.ජා.පයේ ඒ වලව්කාර දේශපාලනය අභියෝග කළ සහ ජනාධිපති අපේක්ෂක වීමට ජයවර්ධන නායකත්වය සමග තියුණු ගැටුමකට අවතීර්ණ වූ අගමැති රණසිංහ ප්‍රේමදාස, 1988 ඔක්තෝබරයේදී එ.ජා.පයේ ජනාධිපති අපේක්ෂක වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු විට, ඔහු වෙනුවෙන් උද්ධාමයට පත් වූයේ පත් වූයේ සාම්ප්‍රදායික එ.ජා.ප ඡන්දදායකයා නොවේ. සමාජයේ ග්‍රාමීය පීඩිත කුල සමූහයන් ය. ජ.වි.පෙ ඡන්ද තහනම නොතකා එ.ජා.ප අපේක්ෂක රණසිංහ ප්‍රේමදාස වෙනුවෙන් ඡන්දය දීමට ඉදිරිපත් වූ සිංහල-බෞද්ධ සමාජයේ ඔහුගේ ඡන්ද පදනම වූයේ ග්‍රාමීය පීඩිත කුල පිරිස්ය. "කූල වෙනස්කම් හා ශ්‍රී ලංකාවේ සමාජ සාධාරණත්වය "පොදු විමසුමක්” මැයෙන් වූ කාලිංග ටියුඩර් සිල්වා ද හවුල් වූ අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සිංහල සමාජයේ එවැනි පීඩිත කුල ජනගහනය සියයට 20 ත් 30 ත් අතර වන්නේය. සිංහල සමාජයේ ඓන්ද්‍රීය කුල නොවන, විශේෂයෙන් බස්නාහිර හා දකුණු වෙරළකරයේ බහුතර පදිංචියක් ඇති විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි වෙළඳ කුල වශයෙන් පවතින කුල දෙක තුන ඊට අයත් නැත.
මේ සමාජයේ ඡන්දදායකයන් අනුගතව සිටියේද, දේශපාලන පක්ෂ දායක වූයේද, එ වන් වැඩවසම්, ප්‍රාථමික ක්‍රියා වලියකටය. මැතිවරණවල තේරීම් සිදුවූයේද තවමත් සිදුවන්නේද එවැනි ප්‍රාථමික වැඩවසම් සභ්‍යත්වයක ය. ජීවන වියදම, ජීවන තත්වය, පොදු සේවා පහසුකම්, ආණ්ඩු පාලනයේ අවලස්සන හමුවේ තැලෙන, කැපෙන, කෙටෙන ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් වැනි කාරණා ගැන නාගරික සමාජයේ කතා කළද, ගම සමග ඇති ඥාති සම්බන්ධකම් අත් නොහරින සිංහල-බෞද්ධ නාගරිකය, ඡන්දය දීම සඳහා නගරයේ සියලු ප්‍රශ්න තම පුද්ගල තේරීමත් සමග ගැට ගසා ගන්නේය.
බහුතර ග්‍රාමීය සමාජයේ ජනාධිපති අපේක්ෂකයන් ගැන කතා කෙරෙන්නේ ඔවුන්ගේ ප්‍රාදේශීය නියෝජිතයන්ගේ තරා තිරම, වංසය ගැන කතා කිරීමෙන් පසුව ය. මෙවර ජනාධිපතිවරණයද මේ සාම්ප්‍රදායික ඡන්දදායකයාගෙන් මිදී නැත. විවිධ අපේක්ෂකයන් ගැන කතා කරන තරුණ පිරිස් නාගරික ප්‍රවණතාවක් වූවත් ඔවුන්ද තමන්ගේ තේරීමෙන් පිටත ඉන්නා අපේක්ෂකයන් විවේචනය කිරීමත් තමන්ගේ තේරීම වර්ණනා කිරීමත් හැර, ජනාධිපති අපේක්ෂකයන් පෙනී සිටින දේශපාලනය ගැන සහ ඒ දේශපාලනය අනාගතයට බලපාන්නේ කෙසේදැයි කරුණු දැක්වීමක් කරන්නේ නැත. එනිසා ඔවුන්ගේ විවේචන, විරෝධතා යට ඉතිරි වන්නේ නැවතත් පරණ සාම්ප්‍රදායික ඡන්දදායකයාම ය. ඔවුන්ගේ අනෙක් සීමාව ඇත්තේ ඔවුන් නගරයේ නැත්නම් නැත්නම් අර්ධ අර්ධ නාගරික සමාජයෙහි දේශපාලන ප්‍රකාශන ලෙස නතරව සිටීමෙහි ය. මේ ඝෝෂාකාරී විරෝධාකල්පීය තරුණ දේශපාලනය වැඩිමනත් හමුවන්නේ සමාජ මාධ්‍ය ජාලවලය.
සමාජ මාධ්‍යවල දේශපාලනය කරන මොවුන්ට ඡන්දදායකයන් ගමේ ඡන්දපොළ වෙත ගෙන යාමට ඇති හැකියාව ඉතාම සීමා සහිත ය. එවන් පසුගාමී පසුගාමී පසුබිමක, දකුණේ සිංහල-බෞද්ධ ඡන්දදායකයන් දුරටත් සිංහල-බෞද්ධ ජනාධිපති අපේක්ෂකයන් අතුරින් වඩාත් සිංහල- බෞද්ධ අපේක්ෂකයා තෝරනු ඇති ද? 2019 නොවැම්බරයේ ගෝඨාභය රාජපක්ෂට මෙන් සිංහල-බෞද්ධ ඡන්ද වලින් පමණක් ජනාධිපති ලෙස තේරී පත් වන්නට ඡන්ද එකතු කරගත හැකි අපේක්ෂකයකු මෙදා දකින්නට නැත. මෙදා ඡන්ද භාවිතයද 2019 මෙන් සියයට 83 ක් වීමේ ඉඩක් දකින්නටද නැත. එහෙත් තේරීම සිංහල-බෞද්ධ වුවහොත් එය, පෙරමුණෙහි ඉන්නා අපේක්ෂකයන් දෙදෙනකුට අඩු වැඩි වශයෙන් බෙදී යාමට ඉඩ ඇත. එනිසා ඔවුන්ට සියයට 50 සීමාව පනින්නට, මුස්ලිම් හා දෙමළ ඡන්ද ආමන්ත්‍රණය කරන්නට සිදුවනු ඇත. එවැනි විටෙක ඔවුන්ට මතුවන ප්‍රශ්නය වනු ඇත්තේ සිංහල-බෞද්ධ ඡන්දය රැක ගනිමින් සිංහල හා දෙමළ ඡන්ද ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්නය.
එයට ඇත්තේ එකම උත්තරයකි. මේ රට සියලු සංස්කෘතික අනන්‍යතා වෙනුවෙන් සමානව සැලකෙන දියුණු රටක් වශයෙන් සංවර්ධනය කරන්නේ කෙසේද යන්න සහ ඒ වෙනුවෙන් තම ඡන්ද ව්‍යාපාරය සමාජගත කිරීමය. එවැන්නක් වෙනුවෙන් මෙවර ඉදිරිපත් වන වන අපේක්ෂකයන් අතුරෙන් ප්‍රධාන පෙළ අපේක්ෂකයන් කිසිවකු සමාජය අමතන්නේ දැයි අපි හෙට දිනයේ සාකච්ඡාවට ගනිමු. මෙය එවැන්නකට පෙරවදනක් පමණි.
කුසල් පෙරේරා
0 Comments