presidential-candidate-death

මෙවර ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි අයිදුරුස් මොහොමඩ් ඉල්යාස් මහතා පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(22දා) සවස මරණයට පත්ව ඇති බව පවුලේ ඥාතීහු පවසති.80 වියැත් අයිදුරුස් මොහොමඩ් ඉල්යාස් මහතා වෛද්‍යවරයෙක වන අතර, ඔහු ඩෝක්ටර් ඉල්යාස්’ නමින් ප්‍රසිද්ධියක් ඉසිලූ දේශපාලඥයෙකි.




ඔහු යුද්ධය හේතුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් පලවා හැරී මුස්ලිම් ජනයා සමග යාපනයේ සිට පුත්තලමට පැමිණ පුත්තලමේ පදිංචිවූවෙකි.1980 දශකයේ සිට දේශපාලනයට අවතීර්ණ වී ඇති ඉල්යාස් මහතා, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේ ඉන්ජක්ෂන් සිලින්ජරය’ ලකුණිනි. 1988 වයඹ පළාත් සභාවට තරග කරමින් පළාත් සභා මන්ත්‍රිධුරයක් හිමිකර ගත් ඒ මහතා 1994 වසරේදී පුත්තලමේ සිට පුත්තලමට පැමිණි සරණාගත ඡන්ද 3300කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනයට වරම් ලබා ගෙන තිබුණි.




2010, 2015, 2019 යන කාලවලදී ජනාධිපතිවරණවලට ඉදිරිපත්වූ හෙතෙම මෙවර සිවුවැනි වතාවට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දී තිබුණි.දරුවන් තිදෙනෙකුගේ පියකු වන ඉල්ලයාස් මහතා, වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව තවම තීර්ණය කර නොමැති බවද පවුලේ ඥාතීහු පවසති. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39ක් ඉදිරිපත් වී සිටි අතර ඒ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටියේය.ඒ මහතාගේ මිය යෑමත් සමග අපේක්ෂකයන් සංඛ්‍යාව 38ක් දක්වා අඩු වී ඇත.

හිරාන් ප්‍රියංකර ජයසිංහ