වසර හතකට පෙර අතුරුදන් වූ එක් දරු පියකු වන පුත්තලම හිටපු වන පාලක සුමේධ බුද්ධදාස මහතාගේ එම අතුරුදන්වීම පිළිබඳව හටගෙන ඇති සැකයක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබා ගත් අධිකරණ නියෝගයකට අනුව පදිංචිව සිටි නිට්ටඹුව මල්වත්තේ පිහිටා ඇති නිවසට අදාළ වසා දමා ඇති වැසිකිළි වළක කැනීම් කටයුතු ඊයේ (20) පෙරවරුවේ ආරම්භ කරනු ලැබීය.
වන පාලක සුමේධ බුද්ධදාස මහතා පුත්තලම වන පාලකවරයා වශයෙන් සිටියදී 2017.05.27 වනදා උදෑසන නිවසින් පිටව යාමෙන් පසුව ආගිය අතක් නොමැතිව අතුරුදන්ව සිටි අතර මේ පිළිබඳව නිට්ටඹුව පොලීසිය දිගින් දිගටම ඒ මහතා පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන ගිය නමුත් කිසිදු තොරතුරක් අනාවරණය වී නොතිබුණි.එම අතුරුදන් වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රහස් පොලිස් නිලධාරීන් පිරිසක් පසුගිය 2023 වසරේ සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ පාසල් ගුරුවරියක වන ඔහුගේ විවාහක බිරිය එම නිවෙස කුලියට දී ගම්පහ ප්රදේශයේ පදිංචියට ගොස් ඇති බවත් පසුව කුලියට දුන් එම නිවෙස ඇය විසින් විකුණා ඇති බවටත් තොරතුරු ලැබී තිබුණි.
රහස් පොලීසිය දිගින් දිගටම පරීක්ෂණ කරගෙන යද්දී එම නිවාස පරිශ්රයේ තිබූ වැසිකිළි වළක් වසා එම නිවෙස විකුණා ඇති බවටද හෙළි වී තිබුණි. මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති වූ සැකයක් මත එම වැසිකිළි වළේ කැනීම් කටයුතු සිදුකොට වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා කරුණු වාර්තා කිරීමට කරන ලද ඉල්ලීමකට අනුව අත්තනගල්ල අංක 02 මහේස්ත්රාත් මංජුල කරුණාරත්න දෙන ලද නියෝගයකට රහස් පොලිස් නිලධාරීන් පිරිසක් අත්තනගල්ල ප්රාදේශීය සභාවේ කැනීම් යන්ත්රයක් (බැකෝ යන්ත්රයක්) ගෙනවිත් එහි කම්කරුවන් යොදාගෙන වැසිකිළි වළ තුළ කැනීම් කටයුතු කිරීම සඳහා වසා දමා ඇති වැසිකිළි වළ සොයා ගත් නමුත් එම වළ අසලට බැකෝ යන්ත්රය ගෙනයාමට නොහැකිවීම හේතුවෙන් ඊයේ (20) පස්වරු 02 ට පමණ තාවකාලිකව කැනීම් කටයුතු අත්හිටුවීමට සිදු විය.
මේ අනුව රහස් පොලිස් නිලධාරීන් මැදිහත් වී කුඩා බැකෝ යන්ත්රයක් රැගෙනවිත් ඊයේ (20) පස්වරුවේ නැවත කැනීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණි.වන පාලක සුමේධ බුද්ධදාස මහතා අතුරුදන් වන විට හතළිස් අට හැවිරිදි වියේ පසුවු එක් දරු පියෙකි.ඒ මහතා මීරිගම, ගල්ගමුව හා ගාල්ල යන අඬවි වන කාර්යාල වල අඩවි වන නිලධාරීවරයා වශයෙන් ද සේවය කර ඇති වන අපරාධ මැඩලීමේ අති දක්ෂ වන නිලධාරියෙකු බවටද රහස් පොලීසිය කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ආනන්ද ඉ. ජයකොඩි.
0 Comments